Header Ads

Breaking News
recent

ඒ තීරණය අරන් තියෙන්නෙ මමයි - කවුරුත් ආදරයෙදි මා හැර ගිහින් නැහැ - ‌නෙහාරා වසර ගණනාවකට පසු ආදරය ගැන කිවුව කතාව Gossip story about Nehara

මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ගොඩක් ආදරය විඳින කෙනෙක්. මොකද මම ඉපදුන දවසෙ ඉඳන් මට ලොකු ආදරයක් ලැබුණා මගේ තාත්තගෙ පැත්තෙන්. පවුලට එකතු වුණ පළමුවැනි මිනිබිරිය මමයි. එදා ඉඳන් අම්මගෙයි තාත්තාගෙයි පවුල් දෙකෙන්ම මට ලැබුණ ඒ ආදරය අදටත් බලාපොරොත්තු වෙනව වගේම මම ආදරය කරන්නත් හරි ආසයි.

නෙහාරාගේ ආදරණීය ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඉන්නෙ කව්ද?
මගේ සැමියා මගේ පවුලෙ අය මේනකගෙ පවුලේ අයගෙන් මට ආදරය ලැබෙනව සහ මමත් දෙයක් කරද්දි ඒ කාගෙවත් හිත රිදවන්නෙ නැතිව ඒ ආදරයට පොඩි හෝ හානියක් වෙන්නෙ නැතිව ජීවත් වෙන්න උත්සාහ කරනව.

නෙහාරා විරුද්ධ පාර්ශ්වයකින් ලැබෙන කුළුදුල් ප්‍රේමයෙහි අසිරිය වින්දෙ පාසල් සමයෙදිද?
ඒක පාසල් වියේදි සිදුවෙන්නෙ මම ඉගෙන ගත්තෙ බාලිකා විද්‍යාලයක නිසා පාසලේදි නම් මට පිරිමි ළමයි මුණගැහුනෙ නැහැ. ඔහු මගේ යාලූවෙක්ගෙ යාලූවෙක්. ඒව ඉතින් දුරදිග ගිය ආදර කතා නෙවෙයි. කොහොමටත් මගේ අම්මයි තාත්තයි තනියම මාව කොහේවත් යැව්වෙ නැහැ. මට ෆෝන් එකක් තිබුණෙත් නැහැ මට කතා කරන්න. ඒ ආදරය ආදර හසුනකට දෙකකට සිමාවුණ ආදරයක් වුණා.

නෙහාරා එක්තරා නාට්‍යයක් තුළින් ජනප්‍රිය වෙද්දි නෙහාරාව පෙම්වතිය කරගන්න බලාගෙන ආදරය කරපු රසිකයන් බොහොමයක් හිටියා නේද?
ඒක මට විතරක් නෙවෙයි ජනප්‍රිය හැම නිළියකටම බලපාන කාරණාවක්නෙ. රසිකයන් මට ආදරය කළා. නමුත් ඒ ආදරය මට වදයක් වෙන මට්ටමට බලපෑවේ නැහැ. මොකද මම මගේ සීමාවෙ හිටිය හැම වෙලාවෙම. මට හිතුනෙම අනේ ඇයි මට මෙච්චර ආදරේ කියලයි.

නෙහාරාගෙ ජීවිතයට සමීප වුණ ආදරයකින් සමුගන්න සිදුවුණ අවස්ථා තියෙනවද?
ඔව්. ඒ ආදර කතාවලට සමුදීමේදී ඒ තීරණය අරන් තියෙන්නෙ මමයි. කවුරුත් ආදරයෙදි මා හැර ගිහින් නැහැ. ඒ වෙලාවෙ පුංචි හරි දුකක් ඇතිවෙලා තියෙනව. නමුත් මං මගේ ජීවිතයේ ආදරය සම්බන්ධයෙන් අරගෙන තියෙන හැම තීරණයක් ගැනම සතුටුවෙන කෙනෙක්.

ඔබගේ සැමියා මේනකගෙ ආදරය ලැබුණ මොහොත?
ඒක මට වචනවලට දාන්න බැරි මතකයක්. මම වගේම තමයි මේනකත් අසීමිත ලෙස ආදරය කරන ආදරය ලබන්න කැමති කෙනෙක්. ඔහු මගේ ආදරය ගැන විමසපු මොහොතෙ මම ඒක බලාපොරාත්තුවෙන් හිටියෙ නැහැ. ඇත්තටම මම පුදුමයට පත්වුණා. මම එසැණින් නම් පිළිතුරක් දුන්නෙ නැහැ. මම පොඞ්ඩක් කල්පනා කරල බලල උත්තරයක් දෙන්නම් කියලා තමයි කිව්වෙ.

ඔහුට ආදරය කරන්න නෙහාරාගෙ හිත පෙළඹවූ කාරණා මොනවද?
නාට්‍යයකින් තමයි මම එයාව හඳුනගන්නෙ. ඊට පස්සෙ අපි හොඳම යාළුවො වගේ කාලයක් හිටියා. එයා හරි නිහතමානී කෙනෙක්. වැඩිය කතා බහට යන්නෙ නැති නෙනෙක්. සමහරු හිතනව එයා හරි ආඩම්බරයි කියලා. එහෙම නෙවෙයි එයා නිහතමානී මිත්‍රශීලී කෙනෙක්. වැඩක් කරද්දි ඒක හරියට කරනව. හැමදෙනා එක්ක සහයෝගයෙන් වැඩ කරන හොඳ විනයක් තියෙන මනුස්සයෙක්. ඒ දේවල් මට හරිම වැදගත් වුණා එයා මගෙන් කැමැත්ත අහපු වෙලාවෙ. ඒ වෙලාවේ මම උත්තරයක් දුන්නෙ නැති වුණාට එයාගෙ ඒ ගතිගුණවලට මගේ හිතේ කැමැත්තක් තිබුණා.

තරුණියක් කැමතිවෙන බාහිර පෙනුම ජනප්‍රියත්වය වගේ දේවලූත් මේ කැමැත්තට බලපාන්න ඇති නේද?
මම බාහිර පෙනුම ලස්සන ජනප්‍රියත්වය සල්ලි පස්සෙ දුවන්නෙ නැති කෙනෙක්. මාව සතුටින් තියන්න පුළුවන් මට අසීමිත ලෙස ආදරය කරන මාව රැකබලා ගන්න පුළුවන් කෙනෙකුටයි මම කැමති වුණේ. එයා එයාගෙ පවුලෙ අය එක්ක එකතුයි. මමත් ඒ වගෙයි. මමත් අම්මියි ඩඩායි මල්ලියි අපි හරිම සමගියි. ඒ නිසා එයත් දන්නව අපි කොහොමද අපේ පවුල්වල අය එක්ක ඉන්න ඕන කියලා. අනිත් කාරණය එයා කතෝලික මමත් කතෝලික මගේ අම්මියයි ඩැඩයි මටයි මල්ලිටයි පොඩි කාලෙ ඉඳන්ම කියල දීලා තියෙන්නෙ පවුලක් හැටියට ඉරිදා පල්ලි යන්න ඕන කියලා. මම මේනකට වචනය දුන්නම කිව්වෙ එකම එක දෙයයි මම මැරෙනකම් ඔයා මාත් එක්ක පල්ලි යන්න එන්න ඕන කියලා.

මේ ආදරය ඇතුළෙ හිත් රිදුම් මත ගැටුම් ඇත්තෙම නැතිද?
එකට ජීවත් වුණාට දෙන්නෙක් කියන්නෙ එකිනෙකාට වෙනස් ගති පැවතුම් තියෙන අයනෙ. අපි එකිනෙකා කැමති අකමැති දේවල් තියෙනව. එහෙම අවස්ථා අපිටත් තියෙනව. හිත් රිදුමක් ඇතිවුණොත් අපි ඒක දුරදිග අරගෙන යන්නෙ නැහැ පැය කිහිපයකට විතරයි. අපි දෙන්නගෙම පළමු විවාහ අසාර්ථක වුණ නිසා අපි හැම වෙලාවෙම ජීවිතේ එන ප්‍රශ්නවලට අවබෝධයෙන් මුහුණ දෙන්න උත්සාහ කරනව. අපි දෙන්නගෙන් කාගෙන් හරි අනිකාට හිත් රිදුමක් ඇති වුණොත් අපි එකිනෙකාගෙන් සමාව ගන්නව විතරක් නෙවෙයි අපි සුහදව ඒ ප්‍රශ්නය ඇතිවෙන්න හේතුව ගැන කතාබහ කරල ඒක ඒ මොහොතේම විසඳගන්නව.



නෙහාරගේ ආදර කැදැල්ලට තුන්වන සාමාජිකයෙක් එන්න තව කල් තියෙනවද?

අපි යාළුවෙලා අවුරුදු දහයක් වෙනවා. අපි විවාහවෙලත් අවුරුදු හයක්. ඒ තරම් කල් ගතවුණත් මම ගෙදර ඉන්නෙ පොඩි ළමයෙක් වගෙයි. එයා ළඟදි මට කිව්වත් එක්ක ඔයා දැන් දාසයෙ ළමයෙක් නෙවෙයි අවුරුදු තිස් එකක කෙනෙක් ඒ වයසට ගැලපෙන්න හිතන්න පුරුදු වෙන්න කියලා. මමයි මේනකයි හරි කැමතියි පොඩි දරුවන්ට. අපිට පුළුවන්කමක් තිබුණ නම් විවාහ වුණ මුල් කාලෙම අපි දරුවෙක් හදනව. ඒත් අධ්‍යාපන කටයුතුයි විදේශගතවීමට සිදුවීමයි එක්ක ඒක කල් දාන්න සිද්ධ වුණා. මේනක නම් කියන්නෙ ලබන අවුරුද්දෙම අපේ කැදැල්ලට දරුවෙක් එකතු කරගමු කියලයි.

ධම්මිකා සුරංජි පතිරණ




No comments:

Powered by Blogger.