Header Ads

Breaking News
recent

news for Wilpattu

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් ප‍්‍රදේශයේ අවතැන්වූ පදිංචිකරුවන් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර නව ගැසට් පත‍්‍රයක් මගින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ප‍්‍රකාශයට පත් කරන බව නීතිපතිවරයා මෝසමක් මගින් අභියාචනාධිකරණයට ඊයේ (25) දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහර ජයසිංහ මහතා මෙසේ අධිකරණයට දැනුම් දුන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප‍්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම ජනක් ද සිල්වා සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න මහත්වරුන්ගේන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කියා සිටියේ 2012 ඔක්තෝබර් 10 වැනි දා ප‍්‍රකාශ කළ අංක 1779 / 15 දරණ ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පදිංචිකරුවන් අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරන බවයි.

පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් විණි.

ලංකාවේ ජාතික වන උද්‍යාන වලින් එකක් වන විල්පත්තු වනයේ අධිරක්ෂිත කලාපයට අයත් අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර නීතිවිරෝධි ලෙස පුද්ගලයින් පදිංචි කර තිබේ. වගඋත්තරකාර අමාත්‍ය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන මෙම නැවත පදිංචි කිරීම් යටතේ පවුල් 1500 ක් මේවන විට එම වනරක්ෂිතය තුළ නැවත පදිංචි කරවා ඇතැයිද පෙත්සමේ සඳහන් වේ.

මෙම නැවත පදිංචි කිරීම් ජාතින පාරිසරික පනත උල්ලංඝණය වන පවත්, වියළි කලාපයට අයත් භූමි ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම වන රක්ෂිතය මනුෂ්‍යය වාසයට නුසුදුසු භූමි ප‍්‍රදේශයක් යැයි ද පෙත්සම්කරු කියා සිටී.

පාරිසරික පනත හා පවතින නීතියට පටහැනි ලෙස සිදුකර මෙම වන එළිපෙහෙළි කිරිම් , නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කරන පුද්ගලයින්ට එරෙහි අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් බලධාරීන්ට නියෝග නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර ආයතනය වෙනුවෙන් නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය.


No comments:

Powered by Blogger.