Header Ads

Breaking News
recent

මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකියි බව නීතිපති දැනුම් දෙයි

ජුනි මස 20 වෙනිදා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් වලට අදාලව මැතිවරණ කොමිසන් සභාව හෝ එම සාමාජිකයින් වෙනුවෙන් තමන්ට පෙනී සිටීමට නොහැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටිනවා.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් අද දින (11) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ,එස්. තුරෙයිරාජා සහ මුර්දු ප්‍රනාන්දු ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීමට නියමිතයි.

නීතීඥ  චරිත ගුණරත්න විසින් මුල් වරට මීට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කල අතර ඉන් අනතුරුව ජාතික සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් සහ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් ඇතුළු පුද්ගලයන් 10 ට අධික පිරිසක් මේ වන විට පෙත්සම් ගොනු කර ඇත.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරමින් පෙත්සම්කරුවන්  පවසා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය නීතියට  පටහැණි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුව යළි කැදවිය යුතු බවයි.

එලෙස පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත යළි නොකැදවීමෙන් මහජනයාගෙ ස්වාධිපත්‍යය බලය උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

එම පෙත්සමෙ වගඋත්තරකරුවන් ලෙසට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් සහ නීතිපතිවරයා නම් කර ඇත. 


No comments:

Powered by Blogger.