Header Ads

Breaking News
recent

ජනාධිපති සාමකාමී ජන ජීවිතයට තර්ජනයක්.. ඔහු ආරක්‍ෂක ලේකම් කාලයේ බිහිසුනුයි - SJB

මගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

– ප්‍රවෘත්ති නිවේදනය –

ජනාධිපතිවරයාගේ වගකීම් විරහිත ප‍්‍රකාශය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මෙන්ම සාමකාමී ජන ජීවිතයට තර්ජනයකි.

යක්ෂයා දත් විලිස්සන තෙක් ඔවුන්ගේ බාහිර ස්වරූපය මානුෂිකය. මෙහි භයානකත්වය බොහෝ දෙනෙක් වටහාගන්නේ යක්ෂයා දත් විලිස්සූ පසුවය. එතෙක් වැඩි දෙනෙක් කැමති වන්නේ තත්වය දෙස පරිබාහිරව බලමින් එය විනිශ්චය කිරිමටය. මෙම පූර්විකාව පසුගියදා ජනාධිපතිවරයා විසින් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය වෙනුවෙන් කරන ලද අර්ථදැක්වීමකි.

පොදු ජනතාවගේ ආරක්ෂාව, නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී ක‍්‍රියා කරන සමගි ජන බලවේගය මෙරට විපක්ෂය වශයෙන් මෙය දකින්නේ භයානක අනතුරු ඇගවීමක් ලෙසය.

ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය කිසිදු අවස්ථාවක පක්ෂයක් ලෙස පෙනී සිටින්නේ හෝ අනුමත කරන්නේ නැත. පක්ෂයක් ලෙස එය හෙළා දකින අතර ත‍්‍රස්තවාදී නායකයෙක් මරා දැමීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලඥයෙකුට එල්ල කරන තර්ජනය සමාන කිරීම කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකිය.

තමාට චරිත දෙකක් තිබෙන බව ජනාධිපතිවරයා පැවසීම ව්‍යංගයෙන් කළ අනතුරු ඇගවීමකි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයෙක්ට තරම් නොවන ප‍්‍රකාශයකි. ජනාධිපතිවරයා විසින් එසේ අදහස් කරන්නේ විරුද්ධ මතධාරීන් මැඩලීමට අවශ්‍ය නම් තමා සූදානම් බවය.

ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටි සමයේදී විරුද්ධ මතධාරීන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට අත්විදීමට සිදුවූ අතිශය බිහිසුණු අත්දැකීම් යළි යළිත් මතක් කළ යුතු නැත.

ජනාධිපතිවරයාගේ මෙම ආවේගශීලී තර්ජනාත්මක ප‍්‍රකාශයෙන් ඔහුගේ පාක්ෂිකයින් අමන්දානන්දයට පත් වුවත් ඉන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ජන සමූහය තැති ගැන්මට ලක් කරයි. නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපතිවරයා ලෙස මෙරට ජනතාව සිය ඡන්දයෙන් පත් කරන ලද්දේ ද්විත්ව චරිතයක් රගපෑමට නොවන බව අපගේ අදහසයි.

ඒ අනුව රටේ පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා, ස්වකීය තනතුරේ අභිමානය මෙන්ම වගකීම්ද නිසි ලෙස වටහාගෙන ඇත්ද යන්න පිළිබද අපට ඇත්තේ විශාල සැකයකි. සම්මත ක‍්‍රමවේදය අනුව ජනාධිපතිවරයා සිය ධූරයේ කාර්යයද, ආරක්ෂක ලේකම්වරයා තම ධූරයේ කාර්යයද ඉටු කළ යුතුවේ.

රටේ මුල් පුරවැසියා ලෙසත්, විධායක ජනාධිපතිවරයා ලෙසත්, රටවැසියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමත්, සාමකාමී ජන සමාජයක් නිර්මාණය කිරීමටත් ඇති වගකීම ඔහු වටහාගත යුතුවේ.

හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිදුකළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයක් තුළ හිමිවන ප‍්‍රධාන අයිතිවාසිකමක් වන අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය තුළ මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයට ප‍්‍රති උත්තර ලබාදීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් තර්ජනය කිරීමට කිසිදු අයිතියක් නැත.

හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සහ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සැමවිට පෙනී සිටිමු. එසේම දිගින් දිගටම ගැලරිය පිනවන ප‍්‍රකාශ නොකර මෙරට ජන ජීවිතයේ ආරක්ෂාව හා අයිතිවාසිකම් තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස බලකර සිටිමු.

රංජිත් මද්දුමබණ්ඩාර,
මහලේකම්,
සමගි ජන බලවේගය


No comments:

Powered by Blogger.