Header Ads

Breaking News
recent

ඩේටා ගාස්තුව අහස උසට නැඟලා…එජාප ආණ්ඩුවක අවශ්‍යතාව අද හොඳට ම දැනෙනවා – නියෝජ්‍ය නායක රුවන්

ක්සත් ජාතික පක්ෂය නැවත නිසි තැනට පත්කරගත යුතු බවට රට පුරාම දැන් අවශ්‍යතාවක් ඇති වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පසුගියදා (17) මහනුවර දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය නැවත සුදුසු ස්ථානයට පත්කර ගන්නා සේම රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය බවට ද රටේ මතයක් ඇති වී තිබෙන බවත් හෙතෙම කීය.

මහනුවර දිස්ත්‍රික්කයේ එජාප සංවිධායකවරුන් සඳහා මහනුවර ඊ. එල්. සේනානායක ළමා පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවති රැස්වීමක දී රුවන් විජයවර්ධන එසේ ප‍්‍රකාශ කළේය.

“අද වත්මන් ආණ්ඩුව පිරිහෙමින් පවතිනවා. ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා දැන් රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි කියා. ජනතාවගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින විපක්ෂයක් අවශ්‍ය බව ජනතාව කියනවා. එදා වේල කන්නට නොහැකිව ජනතාව අද පීඩා විඳිනවා. තමන්ගේ දුක් වේදනා ගැන කතා කරන විපක්ෂයක් ඕනෑ කියා ජනතාව කියනවා.

වෙළෙඳපොළට යන ජනතාවට පෙනී යනවා මොන තරම් භාණ්ඩ මිල ඉහළ ගොස් තිබෙනවා ද කියා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම නිසා පීඩා විඳින ජනතාවගේ දරුවන්ට ‘ඔන්ලයින්’ ක‍්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමට උපදෙස් දෙනවා. නමුත් ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපනය ලබා ගැනීමට ‘ඩේටා ගාස්තු’ සහනයක් නැහැ. ඩේටා ගාස්තු මිල ඉහළයයි. ආණ්ඩුව මේ ගැන සැලකිල්ල දක්වා ඩේටා ගාස්තු අඩුකළ යුතුයි.

දින 19 ක් රටේ සෞඛ්‍ය ඇමැතිවරයෙක් සිටියේ නැහැ. ඒ දින 19 න් දින 10 ක් ගත වන විට කොවිඞ් මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගියා. දින 19 ගත වුණාට පසුව වැඩබලන සෞඛ්‍ය ඇමැතිවරයකු පත් කළා.

යහපාලන රජය සමයේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වැඩබලන ඇමැතිවරයකු පත්නොකර හිටපු ජනාධිපතිතුමා රට ගියා. පාස්කු ප‍්‍රහාරය එල්ල වුණේ ඒ අවස්ථාවෙයි. ප‍්‍රහාරයෙන් විශාල විනාශයක් සිදු වුණාට පසුව ජනාධිපතිතුමා රටට පැමිණියා. වැඩබලන ආරක්ෂක ඇමැතිවරයකු පත් නොකර රට යෑම නිසා විනාශය ඇති වුණා.

එක්සත් ජාතික පක්ෂයේ අපි දැන් කළ යුත්තේ පක්ෂයට සුදුසු නායකත්වය වටා සංවිධානට වීමයි. රටේ ඉල්ලීමක් තිබෙනවා අපේ පක්ෂය නැවත ප‍්‍රතිසංවිධානය වීමත්, පක්ෂයෙන් වෙන්වී ගිය පිරිස් නැවත ආපසු ලබා ගැනීමත් සඳහා කටයුතු කළ යුතුයි කියා.

ඒ නිසා ඒ ඉල්ලීම ඉටුකිරීම සඳහා අප එකමුතුව අඩුපාඩු සාදාගෙන පක්ෂය ඉදිරියට ගෙන යමු. එම වැඩපිළිවෙළ අනුව පක්ෂයේ සාමාජිකයන්ට සිරිකොත සැමවිටම විවෘතයි. සඳුදා සහ අඟහරුවාදා දිනවල පාක්ෂිකයන් හමුවීමට අප සූදානම්. පක්ෂ මහලේකම් තුමා ඒ දිනවල දී හමුවිය හැකිය. පක්ෂ මූලස්ථානයේ මහලේකම් තුමා සිටිනවා.”


No comments:

Powered by Blogger.