පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හදිසියේ ශ්‍රී ලංකාවට එන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩගැනීමටද ?
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 22 වනදා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සිය නිල සංචාරය අතරතුර ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය යන රටවල් දෙකම බරපතළ කොවිඩ් වසංගත තත්වයකින් පීඩා විඳිද්දී හදිසියේම පාකිස්ථානු අගමැතිවරයා මෙසේ නිල සංචාරයක නිරතවීම ජාත්‍යන්තර දේශපාලන විශ්ලේශකයන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ.
පාකිස්ථානය යනු කලාපය තුළ දැඩි ලෙස චීන බලපෑමට ලක්ව සිටින රටකි. ඒ අනුව එහි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙසේ හදිසියේම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ චීන රජයේ වුවමනාවන් අනුව බවයි ජාත්‍යන්තර විශ්ලේශකයින් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක පාකිස්ථානු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තුළ එම අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ.
මේ අතර රජයේ පාර්ශ්වයෙන් කරුණු දක්වන ඇතැමුන් පාකිස්ථානු අගමැතිවරයා හරහා මුස්ලිම් රටවල සහාය ඉදිරි ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවනු ඇති බවට පළ කෙරෙන මතයන් ද සාවද්‍ය බව ඔවුහු පෙන්වා දෙති. ඒ, මුස්ලිම් රටවල් ගණනාවක්ම පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සමග විරසකයකින් පසුවන නිසාය. එසේම කොවිඩ් මෘතදේහ අනිවාර්යයෙන්ම භූමදානය කිරීම සඳහා නීති පැනවීම නිසා මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන විරෝධය පාකිස්ථානු අගමැතිවරයාට කෙසේවත් සමනය කළ හැකි තත්වයක් නොවන බවත් ඔවුහු සඳහන් කරති.

No comments: