Header Ads

Breaking News
recent

වරාය නගරය ගැන විජේදාස කියන්නේ පට්ටපල් බොරු…. රතු අලි පැටව් රටට එරෙහිව බටහිරට කඩේ යනවා – අමාත්‍ය විමල් වීරවංශ

චීන කොලනියක් ඇතිවන බවට ජනතාව තුළ හුඹස් බියක් ජනිත කරමින් ‘රතු අලි පැටවුන්’ ඉටුකර දෙන්නේ, ලොව මහා වාණිජ නගරයක් ලෙස මෙරට වරාය නගරය ඉදි වීමත් සමඟ අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

ඊයේ (20) මාලඹේ පිහිටි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි පැවැති කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.

“වරාය නගරය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අපි බොහොම ගැඹුරින් අධ්‍යයනය කළා. වරාය නගරය කියන්නේ මෙතෙක් මේ රටට අයත්ව නොතිබුණු, මුහුද ගොඩකර ඉදිකළ ප්‍රදේශයක්. ඒ වගේම මීට පෙර කිසිදු පුද්ගලයෙකු වාසය නොකළ ප්‍රදේශයක්. ඒ මහා නගරය හැදෙන්නෙම මේ රටට ලෝකය පුරා සිටින ආයෝජකයන් සහ විදේශ විනිමය ගෙන්වා ගැනීමේ අරමුණෙන්.

එවැනි මහා නගරයක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ගාල්ල නගරය පාලනය කරන ආකාරයට පාලනය කිරීමට බැහැ. ලෝකයේ එවැනි මහා වාණිජ නගර පාලනය වන ආකෘති තිබෙනවා. ඩුබායි, සිංගප්පූරුවේ සමහර නගර පාලනය වන ආකෘති නිදසුන් ලෙස දැක්විය හැකියි. එවැනි ආකෘතියක් තමයි අපි රජයක් ලෙස ඉදිරිපත් කර තිබෙන්නේ.

ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන ප්‍රතිපාදන ඇතුළත් නම් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දේවි, ඒ වගේම කළ යුතු දේ රජයට නියම කරාවි. නමුත් සංකල්පයක් ලෙස රජය වරාය නගරය සඳහා ඉදිරිපත් කර ඇති ආකෘතිය නිවැරදි ආකෘතියක් කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

වරාය නගරය කිසිදු ලෙසකින් අපේ රටේ අයිතියෙන් ගිලිහෙන්නේ නැහැ. වරාය නගරයේ පාලක මණ්ඩලයට පත් කරනු ලබන සියලුදෙනා පත් කරනු ලබන්නේ මේ රටේ ජනාධිපතිවරයා. එහෙමනම් ජනාධිපතිවරයා, මේ රටේ අයිතියෙන් ගිලිහෙන්න ඕනෙ.

මේකට චීන කොලනියක් කියන රතු අලි පැටියගෙන් අහන්න, චීන කොලනි ලෝකයේ කොහෙද තියෙන්නේ, කියා. මේ මහා වාණිජ නගරය ඉදි වීමත් සමග අසහනයෙන් පෙළෙන ඇතැම් ලෝක බලවතුන්ගේ උවමනාව තමයි, මේ නිසා චීන කොලනියක් ඇතිවෙනවා, යැයි කියමින් ජනතාව තුළ හුඹස් බියක් ඇති කරන මේ රතු අලි පැටව් ඉටුකර දෙන්නේ. ඒකට මේ රටේ ජනතාව නොමග යා යුතු නැහැ.

විජේදාස රාජපක්ෂ වරාය නගරය සම්බන්ධයෙන් කියන කතා නම් පට්ටපල් බොරු. එතුමා පවසා තිබුණා වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත්වෙනවා කියා. එසේ වීමට කිසිදු ඉඩකඩක් නැති බව අවධාරණය කළ යුතුයි.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

No comments:

Powered by Blogger.