Header Ads

Breaking News
recent

e-wis එකට දුන්න කියන රු. කෝටි 50 ගිල්ලේ කවුද?

වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපනය කර තිබූ මෘදුකාංග පද්ධතිය නිසි ලෙස යාවත්කාලීන කර නැතැයි ද, එය භාවිත නොකරන බව ද මැයි 31 වන දා කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබිණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, අදාළ පද්ධතිය සැකසීම සඳහා රුපියල් මිලියන 645ක් පමණ සමාගමකට ලබා දී ඇති බව ය.

ඊට අමතරව, එහි නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් මිලියන 5ක් බැගින් ලබා දුන්න ද, එම පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව හෙළි වූ බව ද අදාළ නිවේදනයේ සඳහන් විය.

එහි වැඩිදුරට ත් දැක්වුණේ, මේ නිසා අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමට මේ වන විට පියවර ඇති බව ද එහි කටයුතු 80% ක් පමණ දැනටමත් අවසන් වී ඇති බව ද පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළ බව ය.

අදාළ මෘදුකාංගය වැඩිදියුණු කළ e-wis සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංජීව වික්‍රමනායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

ඔහු පැවසුවේ, සිය සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් ගෙවා නොමැති බව ය.

තම සමාගමට ගෙවා ඇති මුදල් පිළිබඳ සියලු තොරතුරු සාක්ෂි ද සමග තමන් සතුව පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, ඒ අනුව, තම සමාගමට අදාළ මෘදුකාංගය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් ගෙවූ බවට කර ඇති ප්‍රකාශ අසත්‍ය බව ය.

ඊට අමතරව, 2015 වසරේ සිට රු. මිලියන 5 බැගින් සිය සමාගමට ගෙවා ඇති බවට කර ඇති ප්‍රකාශ ද ප්‍රතික්ෂේප කරන බව ඔහු අවධාරණය කළේ ය.

අදාළ මෘදුකාංගය කිසිදු ගෙවීමකින් තොරව 2015 වසරේ සිට ක්‍රියාත්මක කළ බව ත්, 2017 වසරේ ඔක්තෝබර් මස 23 වන දා ඊට අනුමැතිය ලැබුණු බව ත් ඔහු අනාවරණය කළේ ය.

මෘදුකාංගය සැකසීම මෙන් ම එය නඩත්තු කිරීම සඳහා රු. මිලියන 4.8ක මුදලක් පමණක් සිය සමාගමට ගෙවා ඇතැයි ඔහු පැහැදිලි කළේ ය.

2017 වසරේ සිට මේ දක්වා අදාළ පද්ධතිය නඩත්තු කරනු ලැබුවේ, 2008 වසරේ ටෙන්ඩර් අනුමැතිය ලැබෙන විට අමෙරිකානු ඩොලරය රු. 111ක්ව පැවති වටිනාකම් අනුව බව ද එහිදී හෙළි කෙරිණි.

කිසිදු මිල වැඩි කිරීමකින් තොරව මෘදුකාංගය නඩත්තු කළ බව පැවසූ ඔහු සඳහන් කළේ, අවස්ථා කිහිපයකදී මෘදුකාංගය වෙනස් කරන ලෙසට කළ ඉල්ලීම් ද ඉටු කළ බව ය.

පසුව මෙම මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කර පවත්වාගෙන යන ලෙසට කොළඹ විශ්වවිද්‍යාලය දුන් නිර්දේශ පවා පසෙක ලා නව මෘදුකාංගයක් සැකසීම සඳහා මුදල් වියදම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත් බව ත්, ඊට තමන් ද ටෙන්ඩර් ඉදිරිපත් කළ ද සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ට රිසි සමාගමක් ඒ සඳහා තෝරා ගත් බව ය.

මෙම මෘදුකාංගය අඩු මුදල් වැය කිරීමකින් යාවත් කාලීන කිරීමට සිය සමාගමට වසර ගණනාවක පළපුරුද්දක් ඇති බව ද, ශ්‍රී ලංකාවේ සියලු රෝහල් වෙත ඖෂධ බෙදා හැරීම් ආදී සියල්ල සිය මෘදුකාංගය හරහා සිදු කෙරුණු බව ත් ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ ය.

මේ අතර, මෙම මෘදුකාංගය ක්‍රියාත්මක නොවන බව යමෙකු ප්‍රකාශ කරන්නේ නම් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සංජීව වික්‍රමනායක මහතා පැවසීය.

එසේ ක්‍රියාත්මක නොවන බව පවසන්නේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් බව ත්, සිය මෘදුකාංගය ඔවුන්ට භාවිත කළ නොහැකි බව ත් ඔහු වැඩිදුරට ත් පෙන්වා දුන්නේ ය.


No comments:

Powered by Blogger.