Header Ads

Breaking News
recent

EXCLUSIVE : මහබැංකු අධිපති එළියට දාන්න හදයි! රනිල් හා ජනපති අතර තීරණාත්මක සාකච්ජාවක්! තිරුකුමාර් නඩේසන් රනිල් වෙනුවෙන් මැදිහත්කරු වෙයි!

මහ බැංකුවේ පාලනය තමන් වෙත ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ සිදුකළ මෙහෙයුමක් හේතුකොට ගෙන ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී අගමැතිවරයා පසුගිය සතියේදී ජනාධිපතිවරයා මුණගැසී මහබැංකු අධිපතිවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කොට එම තනතුර සිය හිතවතකු වන දිනේෂ් වීරක්කොඩි මහතා හට ලබාදිය යුතු බව දැනුම්දී තිබේ.

නමුත් ඊට ජනාධිපතිවරයා සිය විරෝධය ප්‍රකාශ කොට ඇති අතර, ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ එය කිසිසේත්ම සිදුකළ නොහැකි යැයි කියාය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ස්ථාවරයට විරෝධය පළකර ඇති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එසේ නම් තමන් මුදල් අමාත්‍ය ධුරයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බවකි.

වික්‍රමසිංහ මහතාගේ මෙම පිළිතුරෙන් කෝපයට පත්ව ඇති ජනාධිපතිවරයාද පිළිතුරු දෙමින් කියා ඇත්තේ එසේ නම් ඉවත් වන්න යැයි කියාය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව සංවිධාන කොට ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතියකු මෙන්ම කලක් තිස්සේ වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ පවුල අතර පණිවුඩ ගෙනයන්නා ලෙස කටයුතු කරන තිරුකුමාර් නඩේසන් මහතාය.

තිරුකුමාර් නඩේසන් යනු ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන අතර නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයාය.

පසුගිය කාලයේදී නඩේසන් මහතා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියදී වික්‍රමසිංහ මහතා ඔහුට ඇමතුමක් ලබාදෙමින් තමන් හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් සංවිධාන කරන ලෙස දැනුම්දීමක් කර තිබේ.

ඒ අනුව දිවයිනට පැමිණි නඩේසන් මහතා මෙම සාකච්ඡාව සංවිධාන කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම දැනගන්නට ඇති ආකාරයට නඩේසන් මහතාද මෙම සාකච්ඡාවට සහභාගි වී සිට ඇති බව වාර්තා වේ.

තිරුකුමාර් නඩේසන් මහතාට මල්වානේ සුප්‍රසිද්ධ නිවස සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ අතර අද දිනයේදී අධිකරණය මගින් ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටද පියවර ගෙන තිබිණ.


No comments:

Powered by Blogger.