Header Ads

Breaking News
recent

මිය ගිය ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් SMS එයි

ලංකාවේ කාලෙන් කාලයට අභිරහස් ඝාතන සිදුවීම් ඕනෑතරම්ය. ඒ සියල්ල රටේ ආන්දෝලනාත්මක සිදුවීම්ය. කෙසේ වෙතත් ඒ බොහෝමයක් අවසානයේ විසඳී ගියේ එකී අපරාධය පිළිබඳව ඉතිරි කළ එක හෝ දශමයක හෝ සාක්ෂියක් නිසාය. ඒ නිසා කතාවට කියන්නාක් මෙන් යම්කිසි අපරාධයක් කිසිදු දිනෙක රහසක් වන්නේ නැත. එය කෙසේ හෝ එළිවනු ඇත.

අප මේ කතා කරන්නේද එවැනිම ආන්දෝලනාත්මක අභිරහස් ඝාතනයක් ගැනය. අද වනවිට එම ඝාතනය සිදුවී දවස් 17ක් ගතවී ඇතත් මේ ඝාතනය සිදුකළේ කවුද යන්න තවම පොලීසියට සොයා ගැනීමට හැකි වී නැත. ඒ ජනශක්ති සමාගමේ හිමිකරු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනයයි.

අද මේ කතාව පටන් ගන්නේ පසුගිය දින කිහිපයේ මෙම ඝාතන සිදුවීම අයාලේ යන්නට පටන් ගත් තැන සිටය. ඇතැම් මාධ්‍ය විසින් පළකරන ලද පූර්ව නිගමන සහිත වැරුදි තොරතුරු නිසා මෙම ඝාතනය, සියදිවි නසා ගැනීමකට මාරුවෙමින් තිබුණේය. ඒකට හේතුව ලෙස මාධ්‍යය අපූරු සාක්ෂිද ගොඩනගාගෙන තිබුණේය.

පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව ෂාෆ්ටර් මහතාගේ නිවස හදිසියේම පරීක්ෂා කෙරිණි. එහිදී ෂාෆ්ටර් මහතාගේ ගෙල සිරකළ බවට සැක කෙරෙන වයරයේ කොටසක් නිවසෙන් සොයා ගනු ලැබීය. එම වයරය මවගේ රෑපවාහිනියට සම්බන්ධ ඇන්ටනාවේ වයරයේ කොටසක් විය. දෙවැනි සාක්ෂිය වූයේ ෂාෆ්ටර් මහතාගේ කාමරයේ ලාච්චුවක තිබී සොයාගත් ප්ලාස්ටික් පටි 09කි. එම ප්ලාස්ටික් පටි හා සමාන පටියක් ෂාෆ්ටර්ගේ මළසිරුරේ දෑත්වලට දමා තිබුණි. තුන්වැනි සාක්ෂිය වුණේ බිරිඳගේ මවට යවන ලද ලිපියක් සහ කෙටි පණිවිඩයකි.

මෙන්න මේ කාරණා නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම ඝාතනය එකවර සියදිවි නසා ගැනීමක් බවට පරිවර්තනය විය. එය මේ ඝාතනයට වඩා අභිරහසකි. එනම් එකවර එවැනි කතාවක් එළියට පැමිණියේ කෙසේද?

මෙතන මාධ්‍යය විසින් ප්‍රශ්න කළ යුතු කාරණා කීපයක් ඇත.

(01) දෙසැම්බර් 15දා අබිරහස්, ආන්දෝලනාත්මක ඝාතනයක් වූ ෂාෆ්ටර්ගේ ඝාතනයේ අවශ්‍යම සාක්ෂි සෙවීමට නිවාස පරීක්ෂා කිරීම සිදුකළේ ෂාෆ්ටර්ගේ අවමංගල්‍ය උත්සවය අවසන් වීමෙන් පසුවය. හරියටම දින 9කට පසුවය. එතරම් කාලයක් යනතුරු නිවෙස පරීක්ෂා නොකළේ ඇයි?
(02) ගෙලට දැමූ ඇන්ටනා වයර් කොටස නිවසේ මවගේ ටී.වී. ඇන්ටනාවෙන් කපාගත් කොටසක් නම් එම සිදුවීම නිවසේ අය දැන නොසිටිය හැකිද?
(03) තමන්ගේ නිවෙසේ අයකු ඝාතනය කළ පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති මොහොතක කුමක් හෝ සාක්ෂියක් නිවසේ තිබේද යන්න සොයා ගැනීමට ඕනෑම සමීපතමයකු උත්සාහ කරන්නකි. එසේ කළා නම් ලාච්චුවක් තුළ ප්ලාස්ටික් පටි තිබුණ බව දැන ගන්නට නොලැබිණිද?
(04) මෙහි එක් සාක්ෂියක් වන්නේ තමන්ගේ බිරිඳ ගැන හොඳ කියා නැන්දම්මාට යැවූ කෙටි පණිවිඩයකි. විවාහය සිදුවී වසර ගණනක් ගිය පසුව එවැනි කෙටි පණිවිඩයක් යැවීම කෙතරම් ප්‍රශ්නකාරීද?
(05) බ්‍රයන් තෝමස්ට පවා යැවූ කෙටි පණිවිඩය ප්‍රශ්නකාරී නම් මේ කෙටි පණිවිඩය පිළිගත හැකිද?

කෙසේ වෙතත් මේ ඉහත ප්‍රශ්න තිබෙනතුරු කිසිවිටෙක මෙය සියදිවි නසා ගැනීමක් බව පිළිගැනීමට හැකියාවක් නැත. එහෙත් මාධ්‍යයට මෙය සියදිවි නසා ගැනීමක් බවට වන තොරතුරක් ලබාදුන්නේ කවුද?

මෙම කාරණා නියත වශයෙන්ම හැම මාධ්‍යයකටම ලැබීමට නම් එම ප්‍රවෘත්තිය එක තැනකින් ලබාදිය යුතුමය. කෙසේ වෙතත් මෙතැන ඇතිවන තවත් ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් මරණ පරීක්ෂණයේදී කියැවෙන්නේ ඔහුගේ ගෙල තන්තුවක් මගින් සිරවීම නිසා මියගිය බවය. එසේම ඔහු කඩයකින් ගත් කෙටි ආහාර වේලද ඔහුගේ අමාශයේ තිබී ඇත. මෙතන ප්‍රශ්නය මතුවන්නේ මියගිය වෙලාව සහ බ්‍රයන් තෝමස් වෙත කෙටි පණිවිඩ යැවූ වෙලාව අතර තියෙන වෙනස සමඟය.

එනම් මල් පාරේ නිවසෙන් ඔහු යන්නේ 1.55ට පමණය. ඒ බවට ඔහුගේ බිරිඳ විසින් සාක්ෂි ලබාදී ඇත. කෙසේ වෙතත් මරණ පරීක්ෂණයේදී සඳහන් කර ඇති බවට සඳහන් වෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් මහතා නිවසෙන් පිටත්ව විනාඩි 30-40ත් අතර කාලයේදී මොළය මියගොස් ඇති බව කියාය. එම වේලාව නිවැරදි නම් දිනේෂ් ෂාෆ්ටර් මහතා 2.25ත් 2.35 අතර කාලය තුළ මිය යා යුතුය. එහෙත් පුදුමය නම් දිනේෂ් ෂාෆ්ටර් බ්‍රයන් තෝමස් වෙත කෙටි පණිවිඩ යවන්නේ 2.42 සහ 2.43 ට වීමය. එසේ නම් මෙලෙස අභිරහස් ලෙස කෙටි පණිවිඩ යැව්වේ කවුද? එය සැබවින්ම අභිරහසක් නොවේද?

එසේම දිනේෂ් ෂාෆ්ටර් මහතා සියදිවි නසාගන්න ගියා නම් මේ ආකාරයේ කෙටි පණිවිඩ යොමුකරයිද? ගෙදර සිට කනත්තටත්, කනත්තට එන අතරතුර කෑමත් ලබාගනීද? සියදිවි නසාගන්න කලින් බඩගින්නට කෑම කෑ එකම පුද්ගලයා ඔහු වනු ඇත. ඊටත් තමන්ගෙ දෙඅත්වලට ප්ලාස්ටික් පටි යොදා සිරකරගෙන ගෙලට වයරයක් දමාගෙන සියදිසි නසා ගන්නේ කෙසේද යන්නත් මේ කතා කියන පුද්ගලයන් සිතිය යුතුය. ඒ නිසා මෙම සියදිවි නසාගැනීමේ කතාව පට්ටපල් බොරුවක් වනු ඇත.
මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කීමට හැකිද යන්න රහස් පොලීසිය මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරුන්ගෙන් විමසුවත් ඔවුන් සඳහන් කර ඇත්තේ ෂාෆ්ටර් මහතාගේ මළසිරුර එම ස්ථානයෙන් එම මෝටර් රථයෙන්ම ඔහුගේ මිතුරකු විසින් රුගෙන ආ නිසා කිසිසේත් මූලික සාක්ෂි ඒ හරහා සොයා ගැනීමට නොහැකි බවයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි මතයක් දැරිය නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම තොරතුරු මාධ්‍යයේ පළවීමත් සමඟ පසුගියදා හදිසියේම පොලිස්පතිවරයා රහස් පොලීසිය වෙත ගියේය. ඒ මේ සම්බන්ධයෙන් සොයා බැලීමටය. එහිදී ඔහුගේ උපදෙස් වී ඇත්තේ මේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ තාක්ෂණික සාක්ෂි මත පමණක් රුගෙන යන ලෙස කියාය. එසේම සෑමදෙයක්ම තමන්ට දන්වන ලෙසත් පොලිස්පති දන්වා ඇත.

මේ වනවිට මෙම පරීක්ෂණයට අදාළව සාක්ෂි විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇත. මෙය යම් ආකාරයක සැලසුමක් බවටද පරීක්ෂණ කණ්ඩායම් වෙත දැනී ඇත. එහෙත් පුදුමය නම් ඝාතනයට නිශ්චිත පුද්ගලයෙක් කොටුකරගන්නට තරම් වටිනා සාක්ෂි නොතිබීමය. මේ නිසා ඝාතනය පිළිබඳ පරීක්ෂණ යම් ආකාරයක මන්දගාමී ස්වරෑපයක් ගෙන තිබේ. කෙසේ වෙතත් ඔහු අධික ලෙස ණයදීම නිසා හිරවූ බවට මාධ්‍යය පසුගියදා පළකර තිබුණේ එකී සියදිවි නසා ගැනීමේ සාක්ෂියට සමගාමීවය. එහෙත් විදෙස් ගතවීමට සිටි අයකු එය මගහැර හදිසියේම ගොස් බෙල්ල හිරකරගත් බව කීම විහිළුවකි. ඊටත් වඩා අභිරහස් සාක්ෂි රුසක් තිබියදී පදනම් නැති සාක්ෂි මැවීමත් තවත් පැත්තකින් අභිරහසකි.

– ගයාන් ගාල්ලගේ / දේශය


No comments:

Powered by Blogger.