Header Ads

Breaking News
recent

රට පාලනය කරන්නේ අනුර නෙමෙයි, ධම්මික පෙරේරලා… හඬපටය පිළිගැනීමෙන් එය තහවුරු වුණා…! – පුබුදු ජය‍ගොඩ…

මේ වන විට රට පාලනය කරන්නේ මාලිමාව නොව ධම්මික පෙරේරා ඇතුළු ධනපති චෞර වළල්ලක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

“මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන හඬපටය අසන විට ධම්මික පෙරේරාට හදිසි ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සඳහා ක්‍රමවේද උල්ලංඝනය කර, නීතිය නමා ඇති බව පැහැදිලිය. පළමු ගල් අඟුරු ටෙන්ඩරය ගැන අප දිගින් දිගටම පැවසුවේ එයයි. දිගුකාලීන ටෙන්ඩරය ගැන මෙතරම් චෝදනා එල්ලවී තිබියදීත් හදිසි ටෙන්ඩරයේදීත් මේ ආකාරයට හැසිරීම ආණ්ඩුවේ ආධාරකරුවන් පැහැදිලි කරන්නේ කෙසේද?

මෙය ව්‍යාජ හඬපටයක් නොවන බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලිපියකින් පිළිගෙන ඇති නිසා රට කරන්නේ මාලිමාවේ මහජන නියෝජිතයන් නොව ධම්මික පෙරේරා ඇතුළු ජාවාරම්කාර ධනපති චෞර වළල්ලක් විසින් බව පැහැදිලිය.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා මේ ලිපිය නිකුත් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සීල් තබා ඇති ආයතනයක ලිපි ශීර්ෂය සහ නිළ මුද්‍රාව භාවිත කිරීම විශාල වරදක් බව නොදන්නා නිසා විය නොහැක. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එය ප්‍රචාරය කිරීම තුළ පෙනී යන්නේ ධනපති චෞර වළල්ලට රාජ්‍ය ව්‍යුහයන් හැසිරවීමට ඇති ශක්‍තිය නොවේනම් වෙන කුමක්ද?

මේ පවතින්නේ ධනේශ්වර රජයක් බවත් කවුරු මොන පුටුවල වාඩිවී සිටියත් මේවා ධනපති ආණ්ඩු බවත් මාක්ස්වාදීන් හැමදාමත් පවසන්නේ ඒ නිසාය. මේ ගල් අඟුරු මගඩියෙන් ජාවාරම්කාරයන්ගේ මඩි තරවන අතර එහි වන්දිය වැඩකරන ජනතාවට ගෙවීමට සිදුවනු ඇත. ඩොලර්වලින් ඉන්ධන ආනයනයට විශාල සමාගම්වලට ආණ්ඩුව ඉඩදී තිබෙන නිසා එම පන්තිය සිය සුපුරුදු කටයුතු කරගෙන යන අතර, විදුලි කප්පාදුව නිසා වැඩකරන පන්තියේ දෛනික ජන ජීවිතය අඩාල වනු ඇත.

මේ සියලු ප්‍රශ්න සමග පන්ති ප්‍රශ්නයක් සම්බන්ධව ඇත. මේවා ධනපති ආණ්ඩු වන අතර වරින් වර එහි මතුපිට සායමේ පැහැය පමණක් අලුත් මූණු හරහා වෙනස්වේ. වත්මන් අත්දැකීමෙන් ලංකාවේ ජනතාවට එම දේශපාලන අවබෝධයවත් ලැබේ නම් ප්‍රමාණවත් වන බව දැනට ලියා තබමු.”

-emanisa

No comments:

Powered by Blogger.