Header Ads

Breaking News
recent

නුගේගොඩ හෙල්ලූ අලුයම දඩයම !

ව්‍යාපාරිකයන් දෙදෙනකු ගමන් ගත් ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයකට ඊයේ (28දා) අලුයම කොහුවල, ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක හිමිකරුවකු වූ නුගේගොඩ, උඩහමුල්ල මැදිවෙල පාරේ පදිංචිව සිටි සුනිල් රුවන් පෙරේරා (38) යන අයයි.


බරපතළ තුවාල ලබා ඇත්තේ නුගේගොඩ තලපත්පිටියේ කනත්ත පාරේ පදිංචි ඉන්දික රොෂාන් නමැත්තකුය. ඔහු බස් රථ හිමියෙකි.

මීට දින කිහිපයකට ඉහතදී විදේශ රටක සිට පැමිණි ජම්බුගස්මුල්ලේ මිතුරකුගේ නිවෙසේ පැවැති සාදයකට මොවුන් දෙදෙනාම සහභාගි වී ඊයේ (28දා) අලුයම එකට පමණ නිවෙස් කරා පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.

සාදය පැවැති නිවෙසේ සිට පසුපසට ජීප් රථය ධාවනය කර හැරවීමට සැරසෙද්දී යතුරුපැදියෙන් ආ නාඳුනන පුද්ගලයන් දෙදෙනා එහි රියැදුරු අසුන අසල ‍ෙදාර විවෘත කර මියගිය අයගේ පපු පෙදෙසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය කියයි.

වෙඩි පහරවල් ව්‍යාපාරිකයාගේ ශරීරයේ ස්ථාන ගණනාවකටම එල්ල වී ඇති අතර පිස්තෝලයෙන් නිකුත් වූ හිස් පතරොම් කොපු වාහනය තුළත් එම ස්ථානයේත් වැටී තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ ලෑන්ඩ් කෘෂර් රථයේ හිමිකරු සිද්ධිය වූ අවස්ථාවේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

මෙම අපරාධය සඳහා පුද්ගලයන් පැමිණි බවට සැකකරන යතුරුපැදියක් නුගේගොඩ, දෙල්කඳ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී ඊයේ (28දා) දහවල් හමු වූ බව පොලිසිය කියයි.

හමු වූ යතුරුපැදියේ අංක තහඩු දෙකම නොමැති බවත් එහි එන්ජින් හා චැසි අංකයන්ද මකා දමා තිබූ බව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගිය ව්‍යාපාරිකයා ලබන මස 03 වැනිදා දෙල්කඳ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් කර තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදී මියගිය අය හෝ අනෙක් පුද්ගලයා කිසිම නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ නොවූවන් බවත් මෙම වෙඩි තැබීම ව්‍යාපාරික ප්‍රශ්නයක් මුල් කරගෙන කරන ලද්දක්ද යන්න හා ඒ සඳහා දුන් කොන්ත්‍රාත්තුවක් දැයි පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවැසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහත්වරුන්ගේ උපදෙස් මත කොහුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්මි ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

කොළඹ - එම්.සී. පෙරේරා


No comments:

Powered by Blogger.