Header Ads

Breaking News
recent

ඔබත් කන්‍යාභාවය නැතිවීම නිසා වේදනා විදින අයෙක්ද ?

ලිපිය පටන් ගන්න කලින් මේ ලිපිය පිළිබඳව යමක් කිව යුතුයි කියලා මම හිතුවා. ඇත්ත වශයෙන්ම මම මේ ලිපිය ලියන්නේ මේ මොහොත වන විට විවාහයකින් තොරව පේ‍්‍රම සම්බන්ධයක් නිසා, වෘත්තිමය හෝ වෙනයම් කරුණක් හේතුවෙන් ලිංගික අල්ලස් ලබා දීම නිසා හෝ ස්ත‍්‍රි දූෂණයක් හෝ වෙනත් කුමන හෝ කරුණක් නිසා කන්‍යාභාවය අහිමි වූ ඒ නිසාම විෂාදයට, ආතතියට පත්වුණු කාන්තාවන්ට හා යුවතියන්ට. ලිපිය පටන් ගන්නත් කලින්ම ලිපියට ලැබෙන සමහර කමෙන්ට් පිළිබඳවත් මට අදහසක් තිබෙනවා. ඉතින් ඒ ගල් මල් හා මිනුම් දඩුවලට මුලින්ම ස්තුතියි.
පසුගිය දවසක BBC සිංහල වෙබ් අඩවිය කියවමින් ඉද්දි මට අපූරු ලිපියක් හමුවුණා. මේ ලිපියෙන් කියවුණේ කාන්තාවගේ කන්‍යාභාවය පිළිබඳව බංග්ලාදේශයේ අපූරු නීතියක් ගැනයි. සතියකට කන්‍යාභාවය සකස් කරගැනීම සඳහා කාන්තාවන් දහයකට වැඩි ප‍්‍රමාණයක් එන නිසා විවාහයේ දී විවාහ සහතිකයේ සඳහන් කරන ‘‘විවාහයට පෙර කන්‍යාවියක්’’ කියන වාක්‍ය ඉවත් කරලා ඒ වෙනුවට ‘‘අවිවාහකයි’’ කියලා සඳහන් කරන ලෙස තමයි මේ නීතිය සංශෝදනය වෙලා තිබුණේ. විවාහයක් තීන්දු කරන විට කන්‍යාභාවය සෙවීම නින්දිත ක‍්‍රියාවක් විදියට ඒ රටේ කාන්තා සංවිධාන කලක් තිස්සේ කළ විරෝධතාත් මේ නීතියට හේතු වෙලා තිබුණා. ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙන විදියට මෙලෙස කන්‍යාභාවය සකස් කරගන්න එන කාන්තාවන් සමහර දෙනෙක් යෝනී මාර්ගය කුඩා කරගැනීමටත් වැඩි පෙළබවීමක් දකින්න ලැබෙනවා. එවිට ලිංගික සංසර්ගයේදී යෝනී මාර්ගය ඉරී යාමෙන් වේදනාවට පත්වෙන නිසා තමන් මීට පෙර කිසිවෙක් සමඟ ලිංගිකව එක්වෙලා නැති බව ඔප්පු කිරීමේ අවශ්‍යතාවය එයට හේතුවයි.

ඇත්ත වශයෙන්ම සමාජයේ දී කෙනෙක් කාන්තාවකගේ කන්‍යාභාවය පිරික්සීම ඇයගේ කායික, මානසික හා සමාජීය වටිනාකම් අවතක්සේරුවට ලක් කිරීමක්. කිසිම විටෙක අපිට තවත් කාන්තාවක් මින් පෙර ලිංගික සබධතා පවත්වා නැද්ද යන්න විමසිමේ නිදහසක් නැහැ. එවැනි අයිතියක් තිබෙනවා නම් ඒ ලිංගාශ‍්‍රිතව බෝවන රෝග වැළදී තිබෙනවා දැයි දැනගැනීමට විනා කන්‍යාභාවය හෝ පිරිසුදු බව තහවුරු කරගැනීම සඳහා නොවෙයි. මේ පිළිබසව වෛද්‍ය වෘත්තිකයන් හා සමාජ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙක් සිය විරෝධය පල කරනවා. කාන්තාවන්ගේ කන්‍යාභාවය පිළිබඳව සිය මතය ඉදිරිපත් කරන මහින්ද කුමාර දළුපොත මහත්මයා BBC සේවයට මේ පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක් ද කර තිබුණා.

‘‘යටත් විජිත සමයෙන් පස්සේ වික්ටෝරියානු සුචරිතවාදීන් පිරිසක් බිහිවුණා. අර සරළ විවාහ ක‍්‍රමයෙන් මිදුණු ගැමියා කිසිදා නොදුටු හඳුනාගෙන නැති කාන්තාවක් විවාහ කරගන්න පෙළඹුණා විතරක් නෙවෙයි කාන්තාවගේ චරිතය සොයන්නත් පෙළඹුණා...’’

ඒ අනුව කන්‍යාභාවයට මූලික පදනම වැටෙන්නේ මේ විදියට. මොකද අපි යටත් විජිතයක් විදියට පවතින්න කලින් බොහොම නිදහස් චින්තනයක් තිබුණු ජාතියක්. විවාහය වේවා, ලිංගිකත්වය වේවා මේ සියල්ල ඇතුලේ අපි බොහොම පෙරටුගාමි ජාතියක්. නමුත් ඒ වෙද්දි එංගලන්තය කියන්නේ පුරුෂ මුලික සමාජ ක‍්‍රමයක් සහිත කාන්තා නිදහස අහිමි කල රටක්. එංගලන්තය ප‍්‍රමුඛ යුරෝපා රටවල් වර්ථමානයේ කාන්තාවන්ට සම අයිතිය දීමේ රැල්ලකට එන්න හේතු වුණෙත් අතීතයේ දකින්න ලැබුණු මේ පසුගාමි චින්තනයම තමයි. කුරුස යුද්ධයට යන්නට පෙර එංගලන්ත වංශාධිපතින් තමන්ගේ බිරිඳට චෙස්ටිටි බෙල්ට් එහෙමත් නැත්නම් යෝනි ආරක්‍ෂිත පටි පළඳවලා ඒ පටිය යතුරකින් අගුළු දාලා යතුර අරන් යුද්දෙට ගිහින් තියෙනවා. හේතුව තමන් යුද්දයේ දී මිය ගියොත් ඇය වෙනත් පුරුෂයෙක් හා විවාහ වේවි කියන බිය සහ තමන් යුද්දයට ගිය අතරතුර ඇය වෙනත් පුරුෂයෙක් සමඟ ලිංගිකව එක්වෙයි කියන බය. මේ පහත් ලිංගික ඉරිසියාව යටත් විජිතකරණයත් සමඟම අපිටත් බෝ වුණා. ඇත්තෙන්ම ඔවුන් මේ විසබීජ අපිට බෝ කළා.

එයට පෙර මෙරට සමාජයේ කාන්තාවගේ පිරිසුදුකම සෙවීමක් හෝ කන්‍යාභාවය පිරික්සීමක් පිළිබඳව අදහසක්වත් තිබුණේ නැහැ. ඒ වෙද්දි අපේ පුරාණ ගැමියා සැලකිලිමත් වුණේ කාන්තාවගේ පතිභක්තිය විනා කන්‍යාභාවය ගැන නෙවෙයි. පතිභක්තිය සහ කන්‍යාභාවය කියන්නේ දෙකක් බව ඔවුන් බොහොම හොඳින් අවබෝධ කරගෙන තිබුණා. නමුත් වර්ථමානයේ මේ තත්ත්වය වෙනස්. පේ‍්‍රම සම්බන්ධයකින් විවාහ වුණු යුවළකගේ පවා කන්‍යාභාවය පිරික්‍ෂණ සුදු රෙද්දේ රුධිර පරීක්‍ෂාව සඳහා රෙදි නැන්දා හෙවත් රිදී නැන්දා පිටත් කර හරින අවස්ථා තවමත් සමාජයේ බහුලව අහන්න ලැබෙනවා. මෙය ඇත්තටම ඉතාම පහත් ආකල්පයක්. ලිංගිකත්වය කියන්නේ දෙදෙනකුට සීමා වුණු සාමාන්‍ය කාරණයක්. ඇත්තටම පළමු ලිංගික සම්බන්ධතාවයෙන් පස්සේ කන්‍යාභාවය හොයන්න රෙදි නැන්දා යවනවා කියන්නේ දෙන්නෙක් ලිංගිකව හැසිරෙන හැටි යතුරු හිලකින් හොරෙන් බලාගෙන ඉන්නවාටත් වඩා පහත් පෙළෙ හැසිරීමක්.

"මේක කොදෙව් මානසිකත්වයත් එක්ක එන දෙයක්. තවත් අතකට ලිංගික ඊර්ෂ්‍යාව මත පදනම් වූවක්. තමන් හැරෙන්න වෙන මනුස්සයෙක් එක්ක ඒ කාන්තාව ලිංගිකව හැසිරෙන්න බැහැ. එහෙම නම් ඇය අපිරිසිදුයි. මේ ලිංගිකත්වය කියන්නේ කෑම බීම වගේ ශරීරයට අවශ්‍ය දෙයක්. යම් හැගීමක් උද්දීපනයේදී දෙදෙනෙක් අතර සම්බන්ධයක් ඇතිවෙන්න පුළුවන්. ඒ මත ඒ කාන්තාවගේ ජීවිතයට ගල් ගසන්න බෑ. ඇයට අතවර වෙන්න පුළුවන්. බුද්ධ දර්ශනයේවත් නැහැ කන්‍යාභාවය රැකගැනීම මහා පිරිසිදු බවක් කියල. නමුත් පතිභක්තිය කියන්නේ වෙනත් දෙයක්. එනම් එක මනුස්සයකුට දක්වන ආදරය සහ දයානුකම්පාව. මේක පටල ගන්න හොඳ නෑ”‍

BBC සිංහල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් රවි සිරිවර්ධන මහත්මයා කියා තිබුනේ එවැනි අදහසක්. කන්‍යාභාවය පිළිබඳව සිය වෛද්‍ය විද්‍යාත්මක මතය BBC සිංහල වෙබ් අඩවිය වෙත පළ කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහල මහතා කන්‍යාභාවය කියන්නේ මොකද්ද කියලා මේ විදියට පැහැදිලි කරනවා. ඒ අනුව,

"බිළිදියක මව් කුසේ සිටියදී මවගේ ගර්භාෂ තරලය එම බිළිදියගේ යෝනි මාර්ගය හරහා ගමන් කිරීම වලකනු පිණිස ආවරණයක් ලෙස පිහිටන පටලය පසු කළෙක කන්‍යා පටලය යනුවෙන් අර්ථ ගැන්වෙනවා. සමහර අයෙක්ට මෙය පිහිටා නොතිබෙන්න පුළුවන්. ඒ වගේම පිහිටා තිබුණත් එය ඝණව ලේසියෙන් බිදිය නොහැකි අයුරින් පිහිටා තිබෙන්න පුළුවන්.’’

පිරිමින්ට මෙවැනි පටලයක් නොපිහිටන්නේ ඔවුන් ට යෝනි මාර්ගයක් නැති නිසයි. ඒ වගේම ක‍්‍රිඩා කිරීම, බයිසිකල් පැදීම වැනි කාර්යයන් නිසා කිසිම විටෙක මේ පටලය බිඳෙන්නේ නැහැ. එය බිදී යන්නේ තදින් එහි වදින යමක් නිසා පමණයි. ඒ කියන්නේ ලිංගික සංසර්ගයකදී හෝ එහෙමත් නැත්නම් ස්වයං වින්දනයේ යෙදෙන අවස්ථාවක දී ඇතුළු කරන යම් උපකරණයක් නිසා පමණයි. මේ හැරුණු විට මාසික ඔසප් දිනවල භාවිතා කරන ටැම්පූන් නම් සනීපාරක්‍ෂ උපකරණය මඟින් සමහර විට කන්‍යාභාවය බිදෙන්න පුළුවන්. නමුත් එවැනි අවස්ථාවක් ගැන වාර්තා වීමක් වෙලා නැහැ.

ඉතින් ඔබ තවදුරටත් ඔබේ අතීතය පිළිබඳව වෙහෙසෙන්න උවමනා නැහැ. දැන් එය සිදුවී අවසානයි. ෂාරුක් ඛාන් සමඟ ආලියා බාත් රඟපාන Dear Zindagi චිත‍්‍රපටයේ එක් තැනක මෙහෙම කියනවා.

"Dont let your past to blackmaile your present to ruin a beautiful future..."

ඒ වගේම බුදුන්වහන්සේ දේශනා කරනවා..,

"Past is the lesson. Its not a life sentece. Dont stress about tommorow. Live today.."

තවමත් ඔබ අතීතය ගැන වද වෙනවා නම් ඒ නිසා අනාගතය මොන වගේ වෙයි ද කියලා ආතතියට පත්වෙලා ඉන්නවා නම් ඔබට කවදාවත් ඔබේ වර්ථමානය විදින්න වෙන්නේ නැහැ. වික්ටෝරියානු සුචරිතවාදීන් නොවන පිරිමි ඕන තරම් සමාජයේ ඉන්නවා. එයින් කෙනෙක් ඔබව සොයාගෙන ඒවි. ඒ වෙනතුරු ඉවසීමෙන් ඔබ ඔබව ගොඩනඟා ගන්න. අතීතය එක් හැඟීමකින් යටපත් කරන්න. හිත හදාගන්නම අමාරු නම් ‘‘කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ශ‍්‍රි ලංකා සුමිත‍්‍රයෝ’’ සංවිධානය හරහා වෛද්‍යවරයෙක් මුණගැසිලා ඔබට උපදේශනයට යොමුවෙන්න පුළුවන්.

ඒ වගේම මතක් කළ යුතු තවත් පුංචි කාරණයක් තිබෙනවා. මම මුලින්ම සඳහන් කළ විදියට මේ ලිපිය ලිව්වේ කාටද කියලා ඔබ දන්නවා. නමුත් ඕනම කෙනෙකුට මේ ලිපිය කියවන්න අයිතිය තිබෙනවා. ඒ නිසාම මේ වනතුරුත් කිසිම ලිංගික සබධතාවකට යොමු නොවුණු යුවතියන් මේ ලිපිය කියවනවා ඇති. නමුත් මම මේ ඔබට දුන්නේ ‘‘සෙක්ස් කරන්න ලයිසන් එකක්’’ නෙවෙයි. ඔබ හිතනවා නම් ලිංගිකව හැසිරීමෙන් අහිමි වෙන්නේ කන්‍යාභාවය විතරයි ඒ නිසා එය වරදක් නෙවෙයි කියලා මම කියන්න උත්සහ කරනවා කියලා ඇත්තෙන්ම ඔබට වැරදිලා. මම මේ ලිපිය ලියද්දි මෙන්ෂන් කළ අය හැරුණු විට අනිත් කිසිම කෙනෙකුට මේ ලිපියේ කියවෙන කිසිවක් අදාල නැහැ. ඔබ තවමත් කිසිදු ලිංගික ඇසුරක් පවත්වලා නැත්නම් විවාහයක් දක්වාම ඒ විදියට ඉන්න.

මොකද ඔබ විවාහ වෙන්නේ විශ්වාසවන්ත එක් සහකරුවෙක් එක්ක. පළමු සංසර්ඝයෙන් පස්සේ ඔබ ගර්භණී වුණත් ඒ වෙද්දි විවාහක නම් එය ගැටළුවක් නෙවෙයි. නමුත් අනවශ්‍ය රැඩිකල්කමක් ඔලූවට වැටිලා මේ කියන දේවල් වැරදියට අරගෙන ඔබ ඔබේ ලිංගික හැඟීම් සෙල්ලමකට ගත්තොත් ඔබේ ගමන ජාතික රෝහලේ 33 වාට්ටුවෙන් වුණත් නතර වෙන්න පුළුවන්. HIV හැරෙන්නට ඉතාම භයානක ලිංගාශ‍්‍රිත රෝග තිබෙනවා. ඒවා පූර්ණ කාලීනව ඔබව වඳභාවයට පත් කරන්නත් හේතු වෙනවා. විශේෂයෙන් සිපිලිස් වැනි රෝගයක් අන්ධ දරුවන්, ආබාධිත දරුවන් ඉපදීමටත් හේතුවක්. ඒ වගේම ලිංගාශ‍්‍රිතව සම්පේ‍්‍රෂණය වන හියුමන් පැපිලෝමා වයිරසය නිසා ඔබට ගැබ්ගෙල පිළිකා ඇතිවෙනවා. ලෝකයේ වැඩිම කාන්තාවන් පිරිසක් මිය යන්නේ එම රෝගයෙන්. ඒ වගේම හියුමන් පැපිලෝමා වෛරසය සමහර කාන්තාවන්ට ශරීරගත වෙන්නේ තමන් ලිංගික සම්බන්ධකම් පවත්වපු එකම පිරිමියාගෙන්. ඒක ඇත්තටම අවසානාවන්ත තත්වයක්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. මොකද සමාජයෙන්, නිවසින් ඔබට දෙන නිදහස ‘‘වල් බූරු නිදහසක් කරගන්නවා ද’’ හරි පාරේ යනවාද කියන එක ඔබේ වැඩක්.

හැම ගැහැණියක්ම වොන්ඩර් වුමන් කෙනෙක්.... අපි අලූතෙන් හිතමු....!

| චාපා
ඉතින් ඔන්ලයින් මැගසීනයෙන් උපුටා ගැනීමකි

No comments:

Powered by Blogger.