Header Ads

Breaking News
recent

උඩින් නොයා බිමම ඉඳන් මාසෙට ඩොලර් හය ලක්‍ෂයක් ගිලින ශ‍්‍රී ලංකන් මොනරෙක් !

සුගිය යහපාලන රජයේ පරිපාලන දුර්වලතා නිසා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් පන් ලක්‍ෂ අසූපන් දහසක් (5,85,000) මාසික කුලියක් ගෙවමින් ගුවන්ගත නොවන ගුවන් යානයක් නඩත්තු කරමින් පවතින බව ඊයේ (30 දා) හෙළිවිය.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විශාල පාඩුවක් ලබමින් පවත්වාගෙන යන අතර එය අවම කිරීම සඳහා ගතයුතු පියවර තීරණය කිරීමට සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ (30 දා) කටුනායක ගුවන්තොටුපළේ සිදුකළ නිරීක්‍ෂණයේදී මෙම අරුම පුදුම ගුවන් යානය නිරීක්‍ෂණයට ලක්කරන ලදී.

එයාර් පෘතුගාල ආයතනයකට අයත් මෙම ගුවන් යානය එම රටේ කාලයක් භාවිත කිරීමෙන් පසු ශ‍්‍රී ලංකන් ආයතනයට ලැබී ඇති බවත් මෙහි පවතින අඩු පහසුකම් නිසා බොහෝ විට ගුවන්ගත වන කාලය ඉතාම අල්ප බවත් මෙහිදී නිරීක්‍ෂණය විය. (ඇතැම් විට සතියකට එක් වරක්වත් ගුවන්ගත නොවන බව හෙළිවිය.) ගුවන් යානයට අවශ්‍ය ආසන ඇතුළු පහසුකම් සැපයීමට අවශ්‍ය උපාංග මේ වන විට ඇණවුම් කර තිබෙන බවත් ඒවා ලබන වසරේ (2020) ජූලි මාසය පමණ වන විට ලැබෙනු ඇති බවත් නිලධාරීහු ඇමැතිවරයාට පැවසූහ.

මෙහිදී ඇමැතිවරයා නිලධාරීන් අමතමින් කියා සිටියේ තමන් ඇතුළු රාජ්‍ය සේවකයන් මහජනතාවගේ මුදල්වලින් නඩත්තුවන පිරිසක් බවත් එය සිහියේ තබාගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්ය. ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම මහින්ද රාජපක්‍ෂ සමයේ රුපියල් බිලියන 75 ක පාඩුවක් ලැබූවත් යහපාලන රජය වසර හතරහමාර තුළ රුපියල් බිලියන 115 ක් පාඩු ලබා ඇති බවත් ඇමැතිවරයා කීය. එම නිසා තමාට සති තුනක් වැනි කාලයක් තුළ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලබන තත්ත්වයට පත්කර ගතහැකි සැලැස්මක් සකස් කරන ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා ප‍්‍රමාණය 22 කි.

චමින්ද සිල්වා
ඡායාරූප - නිමල් දයාරත්න


No comments:

Powered by Blogger.