Header Ads

Breaking News
recent

ජුනි 20 මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි



ජුනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 18 සහ 19 යන යන දිනවල සිදු කිරීමට  ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දූ ප්‍රනාන්දු සහ එස්.තූරෙයිරාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී මුලින්ම නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ ලැබුවා.

එම පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහ මැතිවරණයට අදාළව මනාප අංක නිකුත් කිරීමේ කටයුතු හෙට දින සිදුවීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

එය සිදුවූවොත් අපේක්ෂකයින්   වීදි වලට බැස ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට ඉඩකඩ තිබෙන බවත් ඒ  තුළින් විශාල සෞඛ්‍යමය තර්ජනයක් මතු වීමට ඉඩකඩ තිබෙන බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නා.

එම නිසා මැතිවරණ කටයුතු පැවැත්වීම අත්හිටුවීමේ අතුරු සහන නියෝගයක් නිකුත් කරන ලෙස ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.


ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල සඳහන් කර සිටියේ වගඋත්තරකාර මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගෙන් කරුණු විමසීමකින් තොරව  මෙවැනි අතුරු සහන නියෝගයක් ප්‍රකාශයට පත්කිරීම අසීරු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව පවතින බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව මෙම නඩු සියල්ල හදිසි නඩු කටයුතු සේ සලකා කරුණු තහවුරු කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාල පෙත්සම් සියල්ල සලකා බැලීම සඳහා ලබන 18 වනදා  සහ 19 යන දිනවල කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

මෙම පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් අටක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් එම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

තවදුරටත් අතරමැදි පෙත්සම් තිබේනම් ඒවා හෙට පස්වරු 3 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිඥවරුන්ට දැනුම් දුන්නා.

මෙම පෙත්සම කැඳවූ ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය දන්වා සිටියා.

එහෙත් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මාහතා වෙනුවෙන් නීතිඥ වරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයක්.

නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ‍මා ධ්යවේදී වික්ටර් අයිවන්, සමගි ජනබලවේගය ඇතුළු පාර්ශව හතක් විසින් මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා,  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කර තිබෙනවා.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බව පෙත්සම් කරුවෝ පවසති

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත්  මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇතැයිද පෙත්සමේ සඳහන්.

මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද ඔවුන් පෙන්වා දෙති.

2019 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමි වන්නේ පසුගිය අප්‍රේල් මස 30 දක්වා පමණක් බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය හමුවේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීම ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල්කි  වැයකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරුවන් සඳහන් කරති.

මෙම ක්‍රියාවන් තුලින් රජය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

කොරෝනා වසංගතය අවසන් වීමට පෙර  මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් අයද සිටීති

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු
ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද   පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

No comments:

Powered by Blogger.