Header Ads

Breaking News
recent

පානදුර ගබ්සා ‍දොස්තරට ගිනි අවි දුන්නේ පොලිස් ලොක්කෝ දෙන්නෙක් !

ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ සමඟ පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ පානදුර, නල්ලුරුව වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය විශ්‍රාමික වෛද්‍යවරයාට එම ගිනි අවි දෙක ලබාදී ඇත්තේ දැනට සේවයේ නියුතු උසස් පොලිස් නිලධාරීන් දෙදෙනකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකාර වෛද්‍යවරයාගෙන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි වී ඇතැයි එම නිලධාරියා කීය.

අධික මිල ගණන් අය කරමින් නීති විරෝධී ගබ්සාවන් සිදුකරන වෛද්‍ය මධ්‍යස්ථානයක් පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ පවත්වාගෙන යන බවට පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලැබුණු රහසිගත  තෙරතුරකට අනුව පෙරේදා (10දා) එම ස්ථානය වටලනු ලැබුවේ පොලිස් සැරයන්වරයකු හා කාන්තා පොලිස් සැරයන්වරයකු අඹු සැමියන් ලෙසට එම ස්ථානයට උපාය දූතයන් ලෙස යොමු කර තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසුව බව පොලිසිය කියයි.

එම සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා මීට වසර කිහිපයකට පෙර මතුගම ප්‍රදේශයේ රජයේ රෝහලක සේවය කළ අවධියේදී මෙම උසස් පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ සමීප හිතවත්කම් පවත්වා ඇති බවද උසස් පොලිස් නිලධාරියා කීය.

එම උසස් පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු මේ වනවිට පොලිස් මූලස්ථානයට අනුයුක්තවද අනෙක් නිලධාරියා දකුණු පළාතේ සේවය කරන බවද ඔහු කීය.

බ්‍රවුනින් වර්ගයේ ගිනි අවිය ලබාදී ඇත්තේ දකුණු පළාතේ සේවය කරන උසස් පොලිස් නිලධාරියා බවත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය ලබාදී ඇත්තේ පොලිස් මූලස්ථානයේ සේවය කරන නිලධාරියා බවත් වෛද්‍යවරයා ලබා දුන් ප්‍රකාශයකින් අනාවරණය වී ඇතැයි දැන ගන්නට ඇත.

බ්‍රවුනින් වර්ගයේ ගිනි අවිය කොළඹට නුදුරු පොලිසියක සේවය කළ හදිසි අනතුරෙන් මියගිය පොලිස් පරීක්ෂකවරයකු පරිහරණය කරන ලද ගිනි අවිය බවට එය ලබාදුන් උසස් පොලිස් නිලධාරියා තමන් සමඟ පැවැසූ බව සැකකාර වෛද්‍යවරයා ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය.

මීට වසර පහකට හයකට පමණ පෙර එම ගිනි අවිය ලබාදුන් වකවානුවේ එම උසස් පොලිස් නිලධාරියා විශේෂ පොලිස් ඒකකයක ප්‍රධානියා ලෙස කටයුතු කර ඇතැයිද එම නිලධාරියා කීය.

එම පොලිස් නිලධාරීන් දෙදෙනා වෛද්‍යවරයාට එලෙස ගිනි අවි ලබාදී ඇත්තේ කිසියම් ලාභ ප්‍රයෝජනයක් සඳහාද යන්න හා කිසියම් අපරාධ සඳහා යොදා ගත්තාද යන්න ගැන පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.


No comments:

Powered by Blogger.