රටේ ආර්ථිකය හාන්සියි.. එජාප එකම මන්ත‍්‍රීකම බාරගෙන ආර්ථිකය බේරා දෙන්න - සියළු එජාප හිටපු මන්ත‍්‍රීන් රනිල්ගෙන් ලිඛිතව ඉල්ලති
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අවසන් වශයෙන් තීරණය වෙයි. ඒ 23 පැවැති කළමනාකරණ කමිටු රැස්වීමේදීය. ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මීට පෙර යෝජනා කළේ එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා විසිනි.
එම යෝජනාව කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැනීම ආරම්භ කළේ අර්ජුන රණතුංග මහතායි.
නවීන් දිසානායක මහතා මෙම රැස්වීමට නොපැමිණියත් ඔහුගේ ද අදහස අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බව එහිදී අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.
රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමාජිකයින් කටයුතු කළේය.
රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේබව හෙළි කරමින් පැවසුවේ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යා යුතු සුදුසුතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
”අපේ රට දැන් මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය අර්බුදයකට. රටේ ආර්ථිකය වගේ ම ලෝකයේ ආර්ථිකයත් කඩා වැටිලා. මේ වගේ අවස්ථාවක මේ ව්‍යවසනයට මුහුණ දෙමින් රටේ ආර්ථික ගොඩ නැඟීමට සක්‍රීයව දායක විය හැකි පුද්ගලයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු ධුරයට යෝජනා කළේ. ඒ සඳහා එතුමාගේ කැමැත්තක් නැහැ. නමුත් අපි එතුමාගේ නම ඒකමතිකව යෝජනා කරලා සියලු දෙනාගේ ම අත්සන් සහිතව ලිඛිත ඉල්ලීමක් අද එතුමාගෙන් සිදු කළා….”යි ද අර්ජුන රණතුංග මහතා පැවසීය
– තමීර මංජු

No comments: