Header Ads

Breaking News
recent

" මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා කොටස මාර්තු 31ට පෙර ජනතා අයිතියට " - මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස වන පොතුහැර - ගලගෙදර දක්වා වූ ඉදිකිරිම් 2020-12-19 වන සෙනසුරාදා දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොතුහැර වදාකඩ මාර්ගයේ ලිහිණිගිරිය ප්‍රදේශයේ සුබ මොහොතින් ආරම්භ කෙරිණි .

පොතුහැර සිට ආරම්භ වන මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටස රඹුක්කන හරහා ගලගෙදර ප්‍රදේශයෙන් අවසන් වේ. මෙහි සමස්ත දුර කි.මි. 31.7කි. මංතීරු 4කින් මෙම අධිවේගී මාර්ග කොටස යුක්ත වේ. මාස 48කින් මෙම ව්‍යාපෘතිය නිමකිරිමට අපේක්ෂිතය.

 පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන, ගලගෙදර යන අන්තර් හුවමාරු 4කින් මෙම අධිවේගී මාර්ග කොටස සමන් විත වේ. මෙම මාර්ගය සඳහා රුපියල් බිලියන142.5 ක් වැයවේ.

මෙම කොටසේ ඉදිකිරීම්,ඉදිකිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණ කටයුතු මහාමාර්ග අමාත්‍යංශයේ ඍජු මග මග පෙන්වීම හා උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි.  රඹුක්කන කුඩාඔය ප්‍රදේශය අසල ප්‍රධාන පාර දෙපස විවේකී පහසුකම් සංකීර්ණයක් නිර්මාණය කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 

අද විශේෂ දවසක් මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 ඇවිල්ලා ගැට්ටුවාන ප්‍රදේශයේ මුල්ගල තිබ්බා මෙම අධිවේගී මාර්ගය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරන්න .ඒ වගේම මහනුවර ගලගෙදර ප්‍රදේශයෙත් මුල්ගල තිබ්බා මෙම අධිවේගී මාර්ගය වෙනුවෙන්.එතුමා බලයේ සිටියා නම් 2019 මුල් කාර්තුව වෙද්දී  මෙම අධිවේගී මාර්ගය අවසන් කරලා ජනතාවට ලබාදෙන්න තමයි අපි එදා සැලසුම් කළේ .එදා එහෙම වුනානම් මේ රටේ දැවැන්ත ආර්ථික සංවර්ධනයක් වෙනවා නොඅනුමානයි .ඒ වගේම අපේ රටේ බෞද්ධ ජනතාවට අඩුම ගමන් කාලයකින් ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාවක් ලැබෙනවා .2015 දී අපේ ජනතාව යහපාලනයේ බොරු වලට රැවටිලා රටක් වටින නායකයෙකු පරද්දලා ගෙදර යැව්වා .යුද ජයග්‍රහණය අමතක කළා .ආර්ථික ජයග්‍රහනය අමතක කළා .රට වෙනුවෙන් කළ දැවැන්ත සංවර්ධනය අමතක කළා .මනුස්සකම අමතක කළ යුගයක් එදා විවිධ නායකයෝ නිර්මාණය කළා .අවසානයේ දී ඔවුන් ජනතාවට පෙන්නන්න උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ ජනපති යුගයට වඩා ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් සංවර්ධිත රටක් ලෙස මේ රට නැවත නිර්මාණය කරනවා කියලා .අවසානයේදී සිදු වූයේ චීනයට දෙවැනි ව තිබූ අපේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් දක්ෂ ලෙස යහපාලන වසර 4 තුළ ඔවුන් වැට්ටුවා .ජීවිතයට ඉස්කෝලේ නොගිය ළමයෙකුටත් එදා තිබූ ආර්ථිකය අවුරුදු 4 කින්  වට්ටන්න බැහැ .නමුත් යහපාලනය ආර්ථිකය වට්ටලා එය විනාශ කළා .

යහපාලනය දූෂණය ගැන කතා කරලා පහරපිට පහර දුන්නා මහින්ද රාජපක්ෂ මැතිතුමාට .ඒ වගේම රාජපක්ෂ පවුලට .එදා සිටි ඇමති මණ්ඩලයට ඔවුන්  පහර දුන්නා .ඔවුන් දැනගත්තා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මුල් පුරුක . ඒ පුරුකට ගහලා වැට්ටුවොත් තමයි රාජ්‍ය බලය ඔවුන්ට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා .ඒ නිසා ඔවුන් මහින්ද රාජපක්ෂ මහත්තයට පහර පිට පහර එල්ල කළා .ඔවුන් රාජ්‍ය බලය ලබා ගත්තා.රටක් දිනවපු , යුද්ධය දිනවපු , මේ රටේ අහිංසක ජනතාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් යුගයක් නිර්මාණය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට නින්දා අපහාස කළා . එතුමාට දෙන්න පුළුවන් දස වධ ඔක්කොම දුන්නා . කොමිෂන් හදලා එතුමාව කොමිෂන් වලට ගෙනිච්චා . දරුවන්ව  හිරේ දැම්මා .බැසිල් රාජපක්ෂ මහත්තයව හිරේ දැම්මා .  සෙනසුරාදා දවසේ උසාවි විවෘත කළා . ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ව ඉතා හිරේ දාන්න සැලසුම් සකස් කළා .දේශපාලනික වශයෙන් රාජපක්ෂ පවුලට දෙන්න පුළුවන් දසවද සියල්ල දුන්නා .මුළු රාජපක්ෂ පරම්පරා විනාශ කරන්න ඔවුන් එදා  ව්‍යවස්ථාවන් නිර්මාණය කලා.නීති සම්පාදනය කළා .

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයෙන් පසු සමස්ත ප්‍රතිඵලය කියන්න කලින් එතුමා අරලියගහ මන්දිරයෙන් ගියා .එසේ ගිය නැත්නම් ඔවුන් එදා මුළු පවුලම ඝාතනය කරන්න සැලසුම් සකස් කරලා තිබුණේ. චම්පික රණවකලා මහා සංඝරත්නය ලෙස සාමාන්‍ය ජනතාව වෙස් ගන්වලා අරලියගහ මන්දිරය වටකරන්න තමයි සැලසුම් සකස් කළේ .ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් විදිහට එදා මහින්ද රාජපක්ෂ මහත්තයා අරලියගහ මැදුරෙන් තංගල්ල නිවසට ගියා .අවුරුදු දෙකක් විතර යනතෙක් එතුමාට ගෙයක් දුන්නේ නැහැ .එතුමා එදා සිටියේ වයිට් දොස්තර මහත්තයාගේ නිවසේ උඩ තට්ටුවේ කාමර දෙකක.එතුමාට වාහනයක් දුන්නේ නැහැ.ත්‍රස්තවාදය අවසන් කළ නායකයා ගේ ආරක්ෂාව ඉවත් කළා .ජීවිතේ බිලි දෙන්න ඉඩ හැරියා .එතුමාව මානසිකව වට්ටන්න  ශිරන්ති රාජපක්ෂ ආර්යාව හිරේ දාන්න සැලසුම් සකස් කළා .එතුමියට බොරු මිනීමැරුම් චෝදනා දාලා හිරේ දමන්න තමයි සැලසුම් සකස් කළේ .

රාජපක්ෂවරුන්ට මේ රටේ නැවත බලයට එන්නට බැරිවෙන්න ව්‍යවස්ථාව වෙනස් කළා .පක්ෂ හදන්න එපා , දේශපාලනය කරන්න එපා විශ්‍රාම ගන්න කියලා ඔවුන්ට බල කළා .ගරුතර මහා සංඝරත්නය තමයි මේ රටේ විශාල බලවේගයක් නිර්මාණය කරලා , විශාල හයියක් වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට නැවත දේශපාලනයට එන්න .එම නිසා පන්සලෙන් පළිගත්තා  . පන්සලේ පිං කැටේ මුදල් ටික ගණන් කරන තැනට යහපාලන ආණ්ඩුව පරිවර්තනය වුණා .හැට නමක් සංඝයා වහන්සේලා හිරේ දැම්මා .අලි පැටියෙක් පන්සලේ තියන් ඉන්නවා කියලා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ ඔහුව කුදලාගෙන ගිහින් හිරේ දැම්මා .69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව බලයට ගෙනල්ලා එම අඳුරු යුගයට තිත තිබ්බා .රට ජාතිය ආගම ආරක්ෂා කළා .

ජීවත්වන මිනිසුන්ට වඩා මැරෙන මිනිස්සු ගැන කතා කරන විපක්ෂයක් තමයි අද අපේ රටේ තිබෙන්නේ .ප්‍රේමදාස මහත්තයා ඇතුළු කල්ලිය බලන් හිටියේ කොවිඩ් හින්දා මිනිස්සු මැරෙනකම් .ඔවුන් කොවිඩ් වලින් සුව වෙන සංඛ්‍යාව අමතක කරලා මැරෙන සංඛ්‍යාව ගැන කිය කිය රට වටේ යනවා. ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව  මිනිස්සු මැරෙනකම් බලන් හිටපු ආණ්ඩුවක්. විනාඩියක් ඇතුලත මිනිස්සු 300ක් මැරෙනකම් උඩ බලන් හිටපු ආණ්ඩුවක් අද කියනවා කොවිඩ්  වලින් මිනිස්සු මැරෙනවා කියලා .නමුත් ඔවුන් කළේ ඔවුන්ට රාජ්‍ය බලය තියෙද්දි මිනිස්සු මැරෙන්න ඇරලා ගෙදරට වෙලා හිටපු එක. ලෝකයේ බලවත් රටවලට කොවිඩ් පාලනය කර ගැනීමට කරගැනීමට නොහැකිව  සිටින කාලෙක අපේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා,ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශය සමඟ එක්ව අපේ රටේ කොවිඩ් සාර්ථක ලෙස පාලනය කර තිබෙනවා .

මෙවර අයවැයෙන් වැඩිම මුදලක් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කළා .වර්තමානයේ මුළු ලෝකයම ආර්ථිකයට පහර පිට පහර වදිද්දී ,ස්වාභාධර්මය මගින් ලෝකයේ ජනතාව අභියෝගයට ,පීඩනයට පත්වෙලා තිබෙද්දී  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අපේ රජය සාර්ථක අයවැයක් ඉදිරිපත් කරලා තිබෙනවා .දැන් අපිට අත පය දිග ඇරලා වැඩකරන්න පුළුවන් .පසුගිය අවුරුද්ද පුරාවටම සිදුවූයේ පසුගිය රජයේ වැරදි වලට අපිට පව් ගෙවන්න .ඔවුන් පළමු මාස තුන ඇතුළත මහ බැංකු හොරා කෑවා .ඔවුනට ලැබුණු හැම සංවර්ධන ව්‍යාපෘතියකින් ම හොරා කෑවා .අධික ලෙස කොමිස් ගත්තා .මංතීරු 6කට මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සැලසුම් කළ පිටත වටරවුම් මාර්ගය මං තීරු 4 කට අඩු කළා .ඒ සල්ලි හොරා කෑවා .එදා මහින්ද මහත්තයට මඩ ගැහුවා ඇස්තමේන්තු සකස් කරල තියෙන්නෙ පාරවල් රත්තරන් වලින් හදන්නද කියලා .මහින්ද මහත්තයා ටෙන්ඩර්  කරලා හදන්න සැලසුම් කර තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ එක කිලෝමීටරයක් රු.ලක්ෂ 25,000 කට හදන්න තමයි සැලසුම් කළේ නමුත් යහපාලනය එම කොන්ත්‍රාත්තුව අවලංගු කරලා එක් කිලෝමීටරයක් සෑදීමට රු.ලක්ෂ 35,000 කට දුන්නා.ඒ මුදල් හොරා කෑවා . දැන් රටේ ජනතාව අපෙන් අහනව මේවා ගැන තොරතුරු දැනගෙනත් ඇයි ඔවුන්ට දඬුවම් ලබා දෙන්නෙ නැත්තෙ කියලා .අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් .ඒවා ගැන සොයා බලන්න ස්වාධීන ආයතන මේ වන විට පිහිටුවල අවසන්. අපි ඒවාට ස්වාධීන නිලධාරීන් පත් කරලා ඉවරයි . අපි ඒවාට ඇඟිලි ගහන්න යන්නේ නෑ. දුරකතන ඇමතුම් දෙන්න යන්නේ නැහැ .ඒවා ගැන සොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුනට බලය ලබා දීලා තියෙන්නෙ .ඊළඟ අවුරුදු හතර තුළ මේ රට සංවර්ධනය කරලා ඔබ සැම බලාපොරොත්තු වුණු රට නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා .

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර මීරිගම  සිට පොතුහැර  දක්වා කොටස ලබන වසරේ මාර්තු 31 දා ට කලින් අපි ජනතා අයිතියට පත් කරනවා .ඒ වගේම කඩවත සිට මීරිගම දක්වා කොටස වසර 2 1/2  නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා . කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ අධිවේගී මාර්ගයේ වැඩ ඉක්මනින් ආරම්භ කිරීමට අපි සැලසුම් සකස් කරමින් සිටිනවා .අතිගරු ජනාධිපතිතුමන් විසින් අමාරු වැඩසටහනක් අපිට බාර දීලා තියෙනවා .ඒ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමයි .අපි අමාරු දේවල් භාරගෙන එම අභියෝග ජය ගන්න කැමති අය . එම නිසා මමත් මගේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මැතිතුමා එකතුවෙලා මෙම අභියෝගය ජය ගෙන ඉදිරි වසර 4 ඇතුලත ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයේ වැඩසටහන අවසන් කරනවා .අපේ අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් සිටිනවා .අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු එම නිලධාරීන් සහ සේවකයන් සමඟ අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා භාරදුන් වගකීම ඉටුකරන නවීන මාර්ග පද්ධතියක් මේ රටට නිර්මාණය කරනවා.

මෙම අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා,  ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මැතිතුමා  ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද , කුරුණෑගල දිස්ත්‍රික්ක නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ,  මන්ත්‍රීවරියන් ද පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මන්ත්‍රීවරියන් ද  මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුලු මහා මාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද ප්‍රදේශවාසීන් රැසක්   සහභාගි වූහ .








මාධ්‍ය ඒකකය                                    
මහාමාර්ග අමාත්‍යාංශය

No comments:

Powered by Blogger.