Header Ads

Breaking News
recent

2035 දක්වා හිරේ යැවූ අයෙක් පසුගිය නත්තල් දා නිදහස් කරලා

2035 වසර දක්වා සිර දඬුවම් නියමිතව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකුට පසුගිය නත්තල් දිනදී (දෙසැම්බර් 25) පොදු සමාව යටතේ නිදහස ලැබී ඇතැයි වාර්තා වේ.

දඬුවම නිමවීමට වසර 14කට පෙර මෙලෙස නිදහස ලැබී ඇත්තේ ජේ.එම්. ප්‍රියන්ත ජයමහ නමැති සිරකරුවකුටය. 

කූඨ ලේඛන සෑදීමේ චෝදනා මත 2035 වසර දක්වා ඔහුට සිර දඬුවම් නියමව තිබී ඇත.

මෙම පුද්ගලයනා 2017 වසරේ දී වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ප්‍රතිකාර සඳහා වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත. 

එහිදී ඔහු රෝහලෙන් පැනගොස් ඇති බවද මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම පුද්ගලයා මීට වසර කිහිපයකට පෙර කූඨ ලේඛන සෑදීමේ තවත් චෝදනාවකට ඇප මත සිටින අවස්ථාකවදී තමා මියගිය බවට කූඨ මරණ සහතිකයක්ද අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයද නොමග යවා ඇතැයි පැවසේ. 

ඒ සඳහා ඔහු බොරැල්ල කනත්තේ තමන් නමින් ස්මාරකයක්ද තනා ඇති අතර එහි ඡායාරූපද අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව පැවසේ.

තුන්මසකට වැඩි කාලයක් සිර දඬුවම් නියමවූ අයෙක් පොදු සමාව යටතේ නිදහස් කිරීමේ දී බන්ධනාගාර මූලස්ථානය දැනුවත් කිරීමට පියවර ගතයුතු බව බන්ධනාගාර ආරංචිවලින් වාර්තා වේ.

එහෙත් මෙම පුද්ගලයා නිදහස් කිරීමේ දී එලෙස දැනුම් දීමක් සිදු වී නැති බව අනාවරණය වෙයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා බන්ධනාගාර මූලස්ථානයට ලිඛිතව දන්වා ඇත්තේ අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරීන් නොමඟ යවා නිදහස්ව ගොස් ඇති බවකි.

මේ සම්බන්ධව විමර්ශනය කිරීමට මීගමුව බන්ධනාගාර අධිකාරි ඒ.සී. ගජනායක ප්‍රධාන කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජෙනරාල් තුසිත උඩුවරගෙ මහතා කියා සිටී.


No comments:

Powered by Blogger.