Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනියි

අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙරට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට ආරක්ෂක හා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් අයි.එස්. සංවිධානයට බඳවා ගෙන ඇත්තේ ඔහු බවද පැවසේ.

මෙම අයි.එස්. ඒජන්තයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා මීට වසර හයකට පෙර සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය හා බැඳී ත්‍රස්ත පුහුණුව ලැබූ අයකු බවත් ඔහු අයි.එස්. සංවිධානයේ ත්‍රස්ත නාමයක්ද ලබාගෙන ඇති බවත් හෙළිව ඇත. පාස්කු ප්‍රහාරයට පළමුව සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායම් සිරියාවේ සිට මෙහෙයවා ඇත්තේ ද ඔහු බව හමුදා හා පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

මෙම පුද්ගලයා මේ වන විටත් ක්‍රියාකාරීව සිටිමින් ත්‍රස්තවාදය මෙරට ව්‍යාප්ත කිරීමේ උත්සාහයක නිරතව සිටින බව හෙළි කරගෙන ඇත. අන්තර්ජාලය මගින් ඔහු හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් ගැනද තොරතුරු ලැබී තිබේ.

ඔහු සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය මෙහෙයවමින් කටයුතු කළ කාලයේ දී (පාස්කු ප්‍රහාරයට පළමුව) බුද්ධි අංශ මගින් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ප්‍රධානීන් දැනුවත් කර ඇතත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර නැතැයි චෝදනා එල්ල වේ.

(අරුණ)


No comments:

Powered by Blogger.