Header Ads

Breaking News
recent

DIG දේශබන්දුගේ නම විකුණා නාහිමියන්ගෙන් මිලියනයක් කප්පම් ගන්න හැදු OIC රිමාන්ඩ්..

බළපිටිය, පාතෙගම යෝගාශ්‍රම විහාරාධිපති ගාලු දිසාවේ අධිකරණ සංඝ නායක බ්‍රාහ්මණවත්තේ විමලවාස තිස්ස නාහිමියන්ගෙන් රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ලබා ගැනීමට සූදානම් වූ බව බවට අහුන්ගල්ල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද නෝර්ටන් බ්‍රිජ් පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු හය (06) දෙනා 2021 මාර්තු 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් චරිත ජයම්පති හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය.

පෙරේදා (19) දින මොවුන් බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24 ක කාලයක් එනම් ඊයේ (20) දින දක්වා අහුන්ගල්ල පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබා දී තිබුණි.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලදදේ නොර්ටන් බ්‍රිජ් පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සංජීව කුමාර නැමති අය, ගාල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු ඇතුඵ හය (06) දෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට අහුන්ගල්ල පොලීසිය අංක 36616 යටතේ බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ විශේෂ ඒකකයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බව පවසා පසුගිය 17 වෙනිදා රාත්‍රි 9.30 ට පමණ මොවුන් පැමිණ විමලවාස තිස්ස හිමියන්ගෙන් කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

තමන් වහන්සේ කුඩු වෙළෙඳාමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණය යටපත් කිරිමට මෙසේ රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති මොවුන් එසේ මුදල් ලබා නොදුන්නොත් රැගෙන යාමට සිදුවන බවත් ප්‍රකාශ කළේ යැයි විමලවාස තිස්ස හිමියන් පොලිස් ප්‍රශ්ණ කිරීම් හමුවේ අහුන්ගල්ල පොලීසියට ප්‍රකාශ කර තිබේ.

මෙම මුලල ලබා දීම සදහා විමලවාස තිස්ස හිමියන් බැංකුවට යද්දී පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් පිරිස බළපිටිය හීනටිය ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය පවසයි. මීට පෙරද විමලවාස තිස්ස හිමියන් කුඩු වෙලදාමට සම්බන්ධ බවට ප්‍රදේශයේ ආරංචි පැතිර ගොස් තිබූ බවත් මසුන් මැරීමට සම්බන්ධ බහුදින යාත්‍රා උපයෝගි කරගෙන මෙම ව්‍යාපාරය කරගෙන යන බවට එම ආරංචි මාර්ග සදහන් කරන බවත් අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකින් සනාථ වී නොමැති බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

No comments:

Powered by Blogger.