Header Ads

Breaking News
recent

මොණරාගල ගස් 63,000ක් කපලා - පානීය ජල අර්බුදයත් උග‍්‍ර අතට !

සුගිය 2020 වසරේදී  මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඇති විවිධ වර්ගවලට අයත් ගස් හැටතුන්දහසක් පමණ කැපීමට අවසරදී ඇති බව වාර්තා වේ.

දැව කදන් වශයෙන් අලෙවි කිරීමටත්, නිවාස අවශ්‍යතාවන් සඳහාත් දැව ඉරාගැනීමටත් මෙලෙස මොණරාගල දිස්ත‍්‍රික්කයේ පිහිටි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල එකොළහක් මඟින් කැපුම් අවසරදී ඇතැයි පැවසේ.

ගස් විශාල ප‍්‍රමාණයක් කපන අතර පැළ සිටුවීම සිදුවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවද එබැවින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන එක්ව දිස්ත‍්‍රික්කය පුරා පැළ සිටුවීමමේ දැවැන්ත ව්‍යාපාරයක් සිදුකිරීම නොකළහොත් දිස්ත‍්‍රික්කයේ පානීය ජල අර්බුදය තව තවත් උග‍්‍රවිය හැකි බවද මොණරාගල අතිරේක දිස්ත‍්‍රික් ලේකම් චන්දන ලොකුහේවගේ මහතා පවසයි.

වැඩියෙන්ම කැපුම් අවසරදී ඇත්තේ දැව කඳන් දිස්ත‍්‍රික්කයෙන් පිටතට රැගෙන යෑම සඳහාය. දැව හෙළීම සඳහා වැඩිම කැපුම් අවසර බලපත‍්‍ර දී ඇත්තේ සියඹලාණ්ඩුව, මොනරාගල, වැල්ලවාය, බිබිල, මැදගම සහ බඩල්කුඹුර යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් බවද වාර්තා වේ.

මීට අමතරව කැපුම් අවසර නොමැතිව කපාගත හැකි ගස් විශාල ප‍්‍රමාණයක්ද කපා ඇති බවද. තවද කැපුම් අවසර ලබාගත යුතු නමුත් හොර රහසේ දැව ජාවාරම්කරුවන් විසින් රජයේ රක්ෂිත ප‍්‍රදේශවල තිබෙන ගස් කපා ඉරීම නිරන්තරයෙන් සිදුවන බවද හෙළිවී තිබේ.

මාස 2ට කොස් 1610ක් කපලා

මෙම වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා මාස දෙකක කාලය තුළ පමණක් කෑගල්ල දිස්ත්‍රික්කයේ කොස් ගස් කැපීම සඳහා බලපත‍්‍ර 1610ක් ලබා දී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී හෙළි වී තිබේ.

වැඩි ම කොස් ගස් කපා ඇත්තේ, වරකපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එම සංඛ්‍යාව ගස් 263කි.

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 197ක්, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 197ක්, මාවනැල්ල කොට්ඨාසයේ 192ක්, රඹුක්කන 189ක්, දෙහිඕවිට 144ක්, රුවන්වැල්ල 127ක්, යටියන්තොට කොට්ඨාසයේ 100ක්, ගලිගමුව 80ක්, දැරණියගල කොට්ඨාසයේ 62ක් හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 59ක් වශයෙන් කොස් ගස් කැපීමට බලපත‍්‍ර නිකුත් කර තිබේ.  

ජලගැලුම් නිම්නයේ පරණම කුඹුක් ගස් කපලා

මහත් ආන්දෝලනයක් ඇති කළ පොළොන්නරුව ජලගැලුම් නිම්නයේ වේරොඩයාය සහ බටතුන යන ප්‍රදේශයේ ඉපැරණි කුඹුක් ගස් කිහිපයක් නන්නාදුණන පසුගියදා කපාදමා තිබේ.

ප්‍රදේශයේ ගොවි ප්‍රජාව පවසන්නේ වසර 100ක පමණ සිට මෙහි ගොවිතැන් කළ තමන්ව ද පරිසරය විනාශවන බව පවසමින් එම ප්‍රදේශවලින් ඉවත්කිරීමට ක්‍රියා කළ බවය.

එහෙත් පිටස්තර පුද්ගලයින් පැමිණ වනෝද්‍යානයේ වටිනා ගස් කපා දමන බවට ඔවුන් චෝදනා කරයි.

පොල්ගස් කැපීම නැවැත්වීමට නීති පියවර ගන්නවා - වැවිලි අමාත්‍ය

මාස කිහිපයක් ඇතුළත ගස් හෙලීමේ පනතට පොල් ගස ඇතුළත්කොට පොල් ගස් කැපීම සීමාකිරීමට ඉක්මනින් පියවර ගන්නා බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.

ඉඩම් කට්ටිකර විකිණීමේදී විශාල වශයෙන් පොල් ගස් කැපීම සිදුවන බවත් පොල්ගස් ආරක්ෂාකිරීමට මෙම කාලසීමාව තුළ පියවර ගැනීම සිදුකළයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පිදුරුතලාගල ගස් කැපිල්ලකට සූදානම් - මයන්ත

නුදුරු දිනකදීම පිදුරුතලාගල රක්ෂිතයේ ගස් කැපීමේ අවදානමක් ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි.

ඒ් මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

වත්මන් රජය බලයට පත් වූ පසුව සිංහරාජය, රඹකැන්ඔය, විල්පත්තුව මෙන්ම මඩකලපුව පොතුවිල් ප්‍රදේශවලද වන විනාශ සිදුකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.


No comments:

Powered by Blogger.