Header Ads

Breaking News
recent

ඇමති සරත්ටත් අල්ලන්න බැරිවූ කැලනිය පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රී

කිරිබත්ගොඩ පොදු වෙළඳ සංගමයේ ලේකම් සිරිල් පතිරණගේ මහතාට පහරදුන් කැලණිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී දුමින්ද පෙරේරා, ඇතුළු මැර කණ්ඩායම දින 9ක් තිස්සේ කිරිබත්ගොඩ පොලිසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇතැයි වාර්තා වේ. කිරිබත්ගොඩ පොදු වෙළද සංකීර්ණයේ රථ ගාලේ වෙළඳ කුටි ඉදිකර විණීමකට එරෙහිවීම හේතුවෙන් සිරිල් පතිරගේ මහතාට මේ ප්‍රහාරය එල්ලවී ඇතැයි පැවසේ.

දැඩි දේශපාලන බලපෑමක් හේතුවෙන් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට ද සැකකරුවන් පිරිස අල්ලා ගන්නා ලෙස පොලිසියට උපදෙස්දීමට නොහැකිව ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පොලිසියෙන් සිදු කරනු ලබන විමසීම්වලදී ඔවුන් කියා සිටින්නේ සැකකරුවන් සැඟවී සිටින බවයි.

කෙසේවුවද, පසුගිය 12 වැනිදා සැකකාර මන්ත්‍රීවරයා කැලනිය ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරයට එක්ව සිටින බවට කිරිබත්ගොඩ පොලිසියට ජනතාව දැනුම්දී ඇති අතර පොලිසිය එම අවස්ථාවේද ඔහුව අත්අඩංගුවට ගැනීම මඟ හැර තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා පැය 06 කට ආසන්න කාලයක් අදාළ ස්ථානයේ සිට ඇති අතර ඔහු එහිදී ප්‍රාදේශීය වාර්තාකරුවකුට සම්මුඛ සාකච්ඡාවක්ද ලබාදී ඇතැයි පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිරිල් පතිරගේ මහතා මාධ්‍යට පවසා තිබුණේ මෙවැන්නකි.

“ එදා 08 වෙනිදා රෑ මම කිරිබත්ගොඩ ගාල හංදියේ කොන්ටිනල් හෝටලයට ගියා කෑම එකක් ගන්න. ඒ වෙලාවේ දුමින්ද පෙරේරා මන්ත්‍රීවරයා කට්ටියක් එක්ක අරක්කු බිබී හිටියා. මාව දැක්ක විතරයි දුමින්ද මන්ත්‍රීවරයා නැගිටල මගේ ගාවට ආවා. එයා පස්සේ තව දෙතුන් දෙනෙක් ආවා. එකපාරටම දුමින්ද මගේ මුහුණට පහරක් එල්ල කළා. පස්සේ අනිත් අය පහරදුන්නා.“

පහර කෑමෙන් තුවාල ලැබූ තමාව කිරිබත්ගොඩ රෝහලට ඇතුළු කෙරුණු බවත් අනතුරුව රාගම රෝහලට මාරු කෙරුණු බවත් ඔහු පවසයි.

රාගම රෝහලින් අක්ෂි පරීක්ෂාවක් සඳහා තමාව කොළඹ ඇස් රෝහලට රැගෙන පැමිණි බවද ඔහු කියයි.

“කිරිබත්ගොඩ වයි.එම්.බී.ඒ. එක ඉස්සරහා තියෙන පොදු වෙළද සංකීර්ණයට අයත් ඉඩම විකුණන්නයි මේ අයට ඕනේ. පෙට්ටි කඩ කිහිපයක් හදල දැනටමත් විකුණලත් ඉවරයි. ඒ ඉඩම පිරිසිදු කරල ඉන්ටර්ලොක් ගල් අල්ලල අපි ඒක පාක් එකක් කළා. ඒකට තමයි මේ අය අපි එක්ක විරුද්ධ. පොදු වැසිකිලියෙනුත් මේ අය සල්ලි ගන්නවා. අපිට මේ පාක් එක හැදුවට විවෘත කරන්න බාධා තිබුණා. පොලීසිය ඉන්නේ එයාලගේ පැත්තේ. පොලීසියෙනුත් අපිට හිරිහැර සිදුවෙනවා. මම පාක් එකේ අල්ලපු ගල් ගැලෙව්වා කියල බොරු නඩුවකටත් පැටලෙව්වා. අපිට මේව කියන්න කෙනෙක් නැහැ. ඒ නිසා මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහත්මයාට මේ ගැන කීවා. එතුමා තමයි අපිට කීවේ පාක් එක විවෘත කරන්න කියල. එතුමා අපිට කීවා මේ ගැන ජනාධිපති තුමාවත් දැනුවත් කලා කියල. ඒ අනුව අපි පාක් එක විවෘත කලා. පොලීසියටත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඔය තරහාට තමයි මට ගැහුවේ.“ යැයිද සිරිල් පතිරණගේ මහතා වැඩිදුරටත් කියා සිටියි.


No comments:

Powered by Blogger.