Header Ads

Breaking News
recent

කොවිඩ් කමිටු අසාර්ථකයි. ජනතාව ගැන අනුකම්පාවක් ඇත්නම් වහාම බලතල කැබිනට්ටුවට ගන්න - රනිල්

කොවිඩ් මර්දනය සඳහා පිහිටුවා ඇති කමිටු අසාර්ථක වී ඇති හෙයින් ජීවිත ගණනාවක් අහිමි වීමට පෙර වහාම කොවිඩ් පාලනයේ සියලු බලතල කැබිනට් මණ්ඩලයට පවරා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටී. 

"අද අපි උග්‍ර තත්වයකට මුහුණ දීලා ඉන්නෙ. ජනතාවගේ සෞඛ්‍ය කඩාවැටිලා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාවෙ පැතිරෙනවා. එන්නත් හිඟයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. අපි ඉන්නෙ තීරණාත්මක අවස්ථාවක. අපි සෞඛ්‍ය උපදෙස් අනුව තීන්දු තීරණ ගන්නෙ නැත්නම් අපි අමාරුවෙ වැටෙනවා. වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයකට අනුව දවසකට 100කට වඩා මැරෙන්න පුළුවන් තත්වයක් එන්න පුළුවන් ජුනි - ජුලි මාසෙ වෙනකොට ලංකාවෙ. 
එහෙනම් අපි ඔක්කොම එකතුවෙලා මේකට මුහුණ දෙන්න ඕනෙ. මේක ආණ්ඩුවෙ නම බේරගන්න සටනක් නෙවෙයි. මේක දේශපාලන සටනක් නෙවෙයි. ඇත්ත වශයෙන්ම මේක ජනතාවගේ ජීවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරුකරන්න කියන්නෙ නැහැ. 

මේ රටේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්නෙ කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමාත් ඇමතිවරුත් එතෙන්ට සම්පූර්ණ බලතල ගන්නට ඕනෙ. මේ තියෙන කොමිටි අසාර්ථක වෙලා තියෙන්නෙ. මේවා ගැන ඉස්සෙල්ලාම කිව්වා, එකක්වත් ක්‍රියාත්මක වෙලා නෑ. අපි කියන්නෙ ජනාධිපතිතුමායි කැබිනට් මණ්ඩලයයි මේ බලතල වහාම බාරගන්න ඕනෙ. 

මේ සතියෙම පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකයින් එක්ක කතාකරන්න, ඒ අයගේ සහයෝගය ලබාගන්න. අදහස් ලබාගන්න. ඒ අයටත් ඒ සහයෝගය ලබලා දෙන්න තියෙනවා. එහෙනම් දැන්ම ක්‍රියාකරන්න. නැත්නම් ජීවිත ගණනාවක් නැතිවෙනවා. රටේ ජනතාව පිළිබඳ අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේක අරගන්න. එතන පළපුරුද්දක් තියෙනවා, ඒ අනුව ක්‍රියාකරන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

No comments:

Powered by Blogger.