Header Ads

Breaking News
recent

මහා පරිමාණ බෝම්බ පිපිරීමකට අමුද්‍රව්‍ය එකතු වෙමින් - ඕමල්පේ සෝභිත හිමි

වසර දෙකක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කොට නොමැති බව ජාතික විද්වත් සංඝ සභාව පවසයි. විශේෂයෙන් කතෝලික ජනතාව පමණක් නොව පොදුවේ බෞද්ධ අබෞද්ධ සියළු දෙනාම මේ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කළ සියළු දෙනාට දඬුවම් ලබා දෙන තුරු බලා සිටින බවත්, පසුගිය රජය මෙන්ම වර්තමාන රජයත් කොමිෂන් සභා පවත්වමින් කල් මැරීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටින බවත් පූජ්‍ය රජවත්තේ වප්ප අනු නාහිමියෝ මෙහිදී සඳහන් කර සිටියහ.

ජාතික විද්වත් සංඝ සභාව වෙනුවෙන් ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, පූජ්‍ය රජවත්තේ වප්ප අනුනාහිමි  ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වන්නට යෙදුණු මාධ්‍ය හමුවට සූම් ඔස්සේ සම්බන්ධ වූ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් සඳහන් කළේ පවතින දේශපාලන වාතාවරණය තුළ විශේෂයෙන් ම ආගමික ගැටුම් ඇතිවන අතිශය නරක ගැටළුකාරී තත්ත්වයන් ඇතිවන ආකාරයේ පරිසරයක් නිර්මාණය වෙමින් පවතින බවය.

වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කළේ, අනාගතයේ පිපිරී යා හැකි මහා පරිමාණ බෝම්බයකට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු වෙමින් පවතින බව පෙනී යන බවය. ඊට හේතුව ලෙස සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික නායකයන් ඇතුළු සංවිධානවල ක්‍රියාකාරීත්වය පිළිබඳ වැරදි අර්ථකථන  ලබා දීමේ උත්සාහයක් පැවතීම බවය.

“වත්මන් රජය බලයට පත් වීමේ දී ප්‍රධානතම මාතෘකාවක් වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒකට අලගිය, මුලගිය සියලු සම්බන්ධකම් හෙළිදරව් කරනවා. ඒවායේ මහ මොළකරුවන් හෙළිදරව් කරනවා. ඔවුන්ට දඬුවම් දෙනවා. ලොකු කුඩා භේදයකින් තොරව මේ දඬුවම් දෙනවා. මෙවන් ප්‍රහාරයක් අනාගතයේ සිදු නොවන්නට වැඩකටයුතු කරනවා කියන එකනේ මේ රජයේ මූලික ප්‍රතිපත්තියක් වුණේ. පොරොන්දුවක් වුණේ. නමුත් දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වුනු මේ සීමාව තුළ අපි දකින්නේ නැහැ ඒ පොරොන්දු ඉටු වුණු බවක්.”

ඒ හේතුවෙන් කතෝලික ජනතාව අතිශයින්ම කළකිරීමට පත්ව තිබේ. කාදිනල්තුමන් විසින් ප්‍රකාශ කරනු ලබන්නේ ඒ කළකිරීම බවත්, ඒ සඳහා ඔවුන්ට පූර්ණ අයිතිය ඇති බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ. ඒ නිසා ඒවා විවේචනය කිරීමේ අයිතියක් කිසිවෙකුට නැත. කතෝලික ජනතාවට සිදුවුණු ඒ අසාධාරණය සම්බන්ධයෙන් කතෝලික ජනතාවගේ නායකත්වය විසින් කතා කිරීම යනු තමන්ගේ යුතුකම ඉටු කිරීමකි. බෞද්ධ නායකත්වය තුළින් ඒ යුතුකම ඉටු නොවේ. කතෝලික ජනතාවට ජාතික මට්ටමින් සාධාරණය ඉටු නොවන්නේ නම්, ජාත්‍යන්තර මට්ටම දක්වා යෑමට ඔවුන්ට අයිතියක් තිබේ.

” ශ්‍රී ලංකාව තනියෙන් ජීවත්වෙන, තනි වූ රටක් නෙමෙයි. ලෝක සම්මුතීන්ට එකඟ වෙලා තියෙනවා. ජාත්‍යන්තර සම්මුතිවලට එකතු වෙලා තියෙනවා. ජාත්‍යන්තරයත් එක්ක බැඳී ගිය ප්‍රතිපත්තියක් අපි කරන්නේ, ඒ අපේ කාගෙත් ආරක්ෂාව. අපේ ආරක්ෂාව සඳහා තමයි, ජාත්‍යන්තර සංවිධාන එක්ක අපි සම්මුති වලට එන්නේ. ඉතින්, මේ සිද්ධියේදී අපිට සාධාරණය ඉටු වෙන්නේ නැත්නම්, ඒකාන්ත වශයෙන්ම ජාත්‍යන්තරයට යන එකේ කිසි වැරැද්දක් නෑ. මොකද ජාත්‍යන්තරයට යනවයි කියන්නේ මේ රටට අලාභයක් හෝ රටකට සිදුවන අපහාසයක් නෙමෙයි.” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කළහ.

මේ අවස්ථාවේ දී කතෝලික ජනතාව විසින් ඒ අනුගමනය කරන ක්‍රියාමාර්ගයට බෞද්ධයන් ලෙස අප එක් විය යුතු බව ද උන්වහන්සේ පවසයි. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග රටේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර වැඩි වර්ධනය වූ සහසම්බන්ධතාව, සහෝදරත්වය ඉදිරියටත් ගෙන යා යුතුය.

“ඒ නිසා කාදිනල් මැල්කම් අනුගමනය කරන ප්‍රතිපත්තිය ඒකාන්තයෙන්ම ඉතාම මැනවින් කරන වැඩක්. ඒක සහසම්බන්ධතාව ඇතුව එතුමා ඒ ගෙනයන වැඩපිළිවෙල ඉතාමත් හොඳ සුහද හැඟීමෙන් එතුමාලා ඒ කරගෙන යන කටයුතු වලට අපි අපේ සහයෝගය පළ කරනවා.” යනුවෙන් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළහ.

මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ ද මේ මාධ්‍ය හමුවට සූම් ඔස්සේ සම්බන්ධ වූහ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට පොලීසිය විසින් වැඩකට නැති කුණු ගොඩවල් අවුස්සමින් නිදහසේ සිටින මිනිසුන් සිරගත කරන්නට වෑයම් කරන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

“අගමැතිතුමා ඉතාලියට ගියාට පස්සේ පළමු වතාවට ජාතික කොඩිය අතේ තියන් විරෝධය පළ කරපු කණ්ඩායමක් ආවා. ඊළඟට ජනාධිපතිතුමා ඇමරිකාවට ගියහම එතන ජාතික කොඩිය අතේ තියාගත්ත, සිංහල මිනිස්සු මේක සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට එරෙහිව විරෝධතා පළ කළා. එතකොට ඒක නිසා දැන් ඔය නායකයන් ලෝකේ කොයි රටට ගියත් කොයි විරෝධතාව එන්න පුළුවන්. එතකොට ඒ නිසා ලෝකය පවා මේ සම්බන්ධයෙන් අපේ දක්වන්නේ බරපතළ විරෝධයක්. ඉතින් මේවා තේරුම් බේරුම් අරගෙන මේක සම්බන්ධයෙන් කතෝලික ජනතාවටත්, බෞද්ධ ජනතාවටත් පිළිගත හැකි කිසියම් ආකාරයක විසඳුමක් වහාම ඉදිරිපත් කළ යුතු වෙනවා. අනිත් පැත්තෙන් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ ආගමිකයන් අතරේ තියෙන මේ සමගි සහජීවනය නැති කරන්න විනාශ කරන්න සමහර අපේම භික්ෂූන් වහන්සේලා පවා සමහර වෙලාවට මේ මාධ්‍ය වලට දෙමින් මේ අනවශ්‍ය මතවාද හදන්න උත්සාහ කරනවා.”

යම්කිසි තැනක ගැටළුවක් ඇති වී නම් ඒකට ආවේගශීලීව අදහස් ඉදිරිපත් කිරීමෙන් තොරව ඒ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අවශ්‍ය අනුශාසනා මඟ පෙන්වීම් කිරීමේ වැදගත්කම සිරිසුමන හිමියෝ අවධාරණය කළහ.

මේ ආණ්ඩුව ඒ යුක්තිය ඉටු කිරීම වෙනුවට ආගමික නොසන්සුන්තාවක් ආගමික ගැටුමක් නිර්මාණය කිරීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටින බව මාධ්‍ය හමුවට එක් වූ ශාස්ත්‍රපති පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ සඳහන් කළහ. විශේෂයෙන්ම බෞද්ධයන් සහ කතෝලික ජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇති කිරීම නොහොඳ නෝක්කාඩු කමක් ඇති කිරීම වෙනුවෙන් ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බව උන්වහන්සේ පවසයි.

“හැම විටකම මේ ආණ්ඩුව බලයට පත්වෙන්නට පෙරාතුවත් බලය ලබා ගැනීම සඳහා සිදු කළේ අර්බුද නිර්මාණය කිරීම. සමාජයේ අර්බුද නිර්මාණය කිරීම. බලය ලබා ගැනීම මුලින්ම මේ අය කළේ බෞද්ධයන් සහ ඉස්ලාම් ජනතාව අතරේ ගැටුමක් නිර්මාණය කිරීම. සිත් රිදවීම් ඇති කිරීම. නොහද නෝක්කාඩු ඇති කිරීම. ඒක පාදක කරගෙන බෞද්ධයන් රවටලා ඉස්ලාම් ජනතාව අසහනයට අපහසුතාවයට පත් කරලා බලය ලබා ගත්තා. නැති අර්බුද නිර්මාණය කරලා ඒ ඔස්සේ තමයි බලය ලබා ගත්තේ. දැන් කුමක්ද කරන්නේ? බලය පවත්වා ගැනීම සඳහාත් තව තවත් අර්බුද නිර්මාණය කරමින් පවතිනවා. කතෝලික ජනතාවත් ඒ කතෝලික ජනතාවට නායකත්වය සපයන මැල්කම් රංජිත් කාදිනල්තුමාත් සමස්ත කතෝලික සභාවත් අපහාසය අපහසුතාවයට ලක්වන ආකාරයෙන් ආණ්ඩුව ක්‍රියා කරමින් ඉන්නවා මේ මොහොතේ.”

පසුගියදා ආණ්ඩුවට හිතවාදී, අපරිණ භික්ෂූන් වහන්සේලා දෙතුන් නමක් මාධ්‍යයට කැඳවා කාදිනල් තුමාවත්, ඒ වගේම කතෝලික ජනතාවත් විවේචනය වන ආකාරයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ඒ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන ෆේස්බුක් ඔස්සේත්  ප්‍රචාරය කළේය. මේ රටේ බෞද්ධ ජනතාව අනවශ්‍ය ආගමික ගැටුමකට මුලපුරීමට සූදානම් නැත. පාස්කු ප්‍රහාරයෙන් පසු පළමුව ඒ ප්‍රහාරයට ලක් වූ පල්ලියට වැඩම කරනු ලැබුවේ ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ ප්‍රමුඛ මේ විද්වත් සංඝ සභාවේ ගෞරවනීය මහා සංඝරත්නයයි.

“එහෙනම් මෙතන අරමුණ මොකක්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ආවෙ මේ වර්තමාන ආණ්ඩුව එම ප්‍රහාරයේ සුලමුල සොයලා ඒ චූදිතයන්ට දඬුවම් කරනවායි කියන පොරොන්දුව මත. දැන් අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් ගෙවී යමින් පවතිනවා. අද වෙනකන් එබඳු දෙයක් ඉටු කරලා නෑ. ඒ වෙනුවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සොයන්න කොමිසමේ වාර්තාව මේ ආණ්ඩුව හංගගෙන ඉන්නවා. ඒ වෙනුවට දෙළුම් විසිතුනකින් සමන්විත වෙච්ච මෙම වාර්තාව සඟවා ගෙන සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කළා ඒ සංක්ෂිප්ත වාර්තාව මගින් ප්‍රකාශ කරලා තියෙන්නේ නඩු පැවරිය යුත්තේ කාටද කියලයි. ඒ නඩු පැවරිය යුත්තේ කාටද කියන එක පිළිබඳව ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරලා සමස්ත වාර්තා වෙළුම් විසිදෙකක් මේ ආණ්ඩුව සඟවාගෙන තිබෙනවා. ඇයි ඒ? මේ වෙළුම් විසිදෙක මහජනතාව අතරට ආවොත් මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ චූදිතයන් කවුද කියලා මේ සමාජයට අනාවරණය වෙනවා. ඒ වගේම මේ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද කියලා ජනතාවට අනාවරණය වෙනවා.”

විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදය මේ රට තුළ ක්‍රියාත්මක වූයේ කෙසේද? ඊට අනුබල දුන්නේ කවුද? ඊට සහයෝගය ලබා දුන්නේ කවුද? එයට මුදලින් සහ අවි ආයුධ වලින් සහයෝගය ලබා දුන්නේ කවුද යන්න, පාස්කු කොමිසමේ වාර්තාව තුළ එළිදරව් වී තිබේ.

“උදාහරණයක් හැටියට ගත්තොත් පාස්කු ප්‍රහාරයේ මේ සුලමුල පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහත්මා සාක්ෂි ලබා දුන්නා. ඒ සාක්ෂි එළිදරව් වෙන්නේ නෑ. ඒ සාක්ෂිය යටපත් කරලා තියෙනවා. ඒ සාක්ෂිය ඇතුලත් වෙළුම එළියට දෙන්නෙ නෑ. ඒ වෙනුවට මොකක්ද කරන්නේ? චම්පික රණවක මහත්මා මේ ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් කරනවාය කියලා අදහසක් සමාජගත කරමින් පවතිනවා. ඒ වගේම ඒ කුමන්ත්‍රණය දියත් කරන්නේ චම්පික රණවක මන්ත්‍රීවරයා පල්ලියක් සමඟ එකතුවෙලාය කියලා අදහසක් සමාජගත කරන්න යනවා. මේ හැම එකකින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ආණ්ඩුව කිසියම් දෙයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැඟවීමට උත්සාහ දරන බව තමයි මේ තුළින් පැහැදිලි වන්නේ. ඒ නිසා කුමන්ත්‍රණකරුවන් කවුද නැද්ද කියන එක එළිදරව් කර ගැනීම සඳහා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. පළමුවෙන්ම කරුණාකරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දුන් සාක්ෂි ඇතුළත් මේ මුද්‍රිත වෙළුම් විසිතුනම කරුණාකරලා ජනගත කරමු. මාධ්‍යයට විවෘත කරන්න. ලෝකයට විවෘත කරන්න. එතකොට ජනතාවට ලෝකයට මාධ්‍යයට පුළුවන් වෙයි කුමන්ත්‍රණකරුවො කවුද කියලා හෙළිදරව් කරගන්න.” යනුවෙන් හැඩිගල්ලේ හිමියෝ ආණ්ඩුව වෙත යෝජනා කර සිටියහ.

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.