Header Ads

Breaking News
recent

ආණ්ඩුවට සරල බහුතරයත් නැති කරමින් පොහොට්ටු පළුවක්ම එලියට බහින්න සූදානම්…

වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකලාපයට එරෙහිව ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩු විරෝධී දැඩි කි‍්‍රයාමාර්ගවලට එළඹීමට තීරණය කර ඇත.
මෙම පිරිස අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක්ම සිටින බවත් ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ රැසක් ද මේ අතර වන බවත් ආණ්ඩු විරෝධී මෙම කැරැල්ල පසුබිමේ සිටින ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලනඥයෙක් පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ කි‍්‍රයා කලාපය, ආණ්ඩුව තුළ පවතින අකාර්යක්ෂමතාවය, ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධව නිවැරදි තීන්දු නොගැනීම, අමාත්‍යාංශයන්හි වැඩ කිරීමට බලයක් නොමැති වීම, ජනතාවට සහන දෙනවා වෙනුවට තව තවත් බර පැටවීම, අසාර්ථක ආර්ථික කළමනාකරණය, සිය ඡන්ද දායකයන්ට මුහුණ දීමට නොහැකිවීම, කොන් කිරීම ඇතුළු කාරණා ගණනාවක් මුල් කර ගනිමින් මෙම මැති ඇමැති පිරිස ආණ්ඩුට එරෙහිව ‘දේශපාලන යුද්ධයක්’ ප‍්‍රකාශයට පත් කිරීමට දැඩි සූදානමකින් පසුවන බව ද හෙතෙම පැවසීය.

ආණ්ඩුවට එරෙහි මෙම දේශපාලන අභ්‍යන්තර අරගලය ආරම්භ කිරීමට එකම බාධාව වී ඇත්තේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට තවත් වසර 03ක පමණ ධුර කාලයක් ඉතිරිව පැවතීම බව සඳහන් ය. එහෙත් පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයේ දී ඉතා ඉක්මනින්ම කොහෙන් හෝ ඔවුනගේ මෙම පීඩනය පුපුරා යනු ඇතැයි ද එම දේශපාලනඥයා කීවේය.

බොහෝ විට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සිටින මැති ඇමැතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීම ඉක්මන් වුවහොත් පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමැතිවරු තිහත් හතළිහත් අතර පිරිසක් මෙතෙක් කලක් ආණ්ඩුවට දැක්වූ සහාය සහ පක්ෂපාතීත්වයෙන් ඉවත් වීමට මේ වන විටත් සූදානම්ව සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

එවිට ආණ්ඩුවට තුනෙන් දෙකක බලය පමණක් නොව පාර්ලිමේන්තුවේ සරල බහුතරය ද අහිමි වී දැඩි දේශපාලන අර්බුදයකට ලක්වනු ඇති බවත් එය ආණ්ඩුවට බක්මහ අකුණක් වනු ඇති බවත් එම දේශපාලනඥයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා සහ හේමන්ත රන්දුණු
දිවයින

No comments:

Powered by Blogger.