Header Ads

Breaking News
recent

අවුරුදු 2කට ඇතුළට ගිය විමල්ගේ බිරිය ඇප ඉල්ලයි! ඇප දෙනවද නැද්ද? තීන්දුව සඳුදා!

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවලට වරදකාරිය වී වසර 2ක සිර දඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී වීරවංශ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇයගේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එම අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළා. ඒ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ පූර්වගාමී ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා විසින්.

සිය නිල මැදිරිය තුළ දීර්ඝ ලෙස තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් විත්තිකාරිය සිය සන්තකයේ තබාගෙන සිටි බවට නඩු විභාගයේ දී කරුණු තහවුරු වූ බවයි.

විත්තිකාරියට මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා ආගමන හා විගමන පාලකවරයාගේ සහාය ලැබී ඇති බව ද නඩු විභාගයේ දී කරුණු අනාවරණය වූ බව මහේස්ත්‍රාත්වරයා එහිදී පවසා තිබෙනවා. 

විත්තිකාරියට දඬුවම් ප්‍රකාශ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ දේශපාලඥයෙකුගේ බිරිඳක් වශයෙන් විත්තිකාරිය සිය නිල බලය සහ තනතුරු බලය භාවිතා කරමින් සිදු කර තිබෙන මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි.

විත්තිකාරිය මෙම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ එක් දින සේවය යටතේ. එහෙත් එය ලබා ගැනීම සඳහා ඇය අදාල කවුලුව හමුවට පවා ඉදිරිපත් වී නොමැති බවත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සහාය ඇතිව ඇය එය කෙටි මාර්ගයකින් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙහිදී චෝදනා කෙරුණා. එබැවින් සමාජයට ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබාදෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේ. 

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මෙහිදී අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ මෙම විත්තිකාරියට අදාළ නීති විරෝධී ක්‍රියාව සිදු කිරීමට ආධාර අනුබල ලබාදුන් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලෙසයි. 

මේ අතර වසර දෙකක සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇය ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ලබන 30 වැනිදා සලකා බැලීමට නියමිතයි.


No comments:

Powered by Blogger.