Header Ads

Breaking News
recent

දළදා වහන්සේට අපහාස කළේ යැයි අත්තඩංගුවට පත් සේපාල් ස්වර්ණ කුමාර අමරසිංහගේ මාසික ආදායම ලක්ෂ 11ක් | Sepal Amarasinghe

දළදා වහන්සේට අපහාස කළේ යැයි අත්තඩංගුවට පත් සේපාල් ස්වර්ණ කුමාර අමරසිංහගේ මාසික ආදායම ලක්ෂ 11ක්

ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර වසරකට ලක්ෂ 140ක ආදායමක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් ස්වර්ණ කුමාර අමරසිංහ මහතා විසින් උපයා ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත ඊයේ (10) දැනුම් දුන්නේය.

ඔහුගේ මාසික ආදායම දාහතර ලක්ෂ තිස් අටදහසක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා දැනුම් දුන්නේය.  බෞද්ධ ජනතාවගේ සිත් රිදවීම් ඇති වන ආකාරයට දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවතින නඩුව ඊයේ (10) යළි කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

නිදහස් මාධ්‍යවේදී තනතුරක් ආරූඪ කර ගනිමින් සැකකරු විසින් සමාජ මාධ්‍ය ජාලා හරහා වෙබ් අඩවි දෙකක් පවත්වාගෙන යමින් ග්‍රාහකයන් එක්ලක්ෂ හැත්තෑ දෙදාහක් හරහා සිය ප්‍රකාශ අඩංගු වීඩියෝපට 793ක් මේ වන විට මුදාහැර ඇති බවට දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසීය.

ආන්දෝලනාත්මක මතයක් හදා හබ කිරීමක් සිදු කර අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමක් කර ඇති සැකකරුගේ මේ ප්‍රකාශයට සිවුරු ගලවමු, පන්සල්වලට පහර දෙමු යනුවෙන් ප්‍රතිචාර ලැබී තිබූ බව පැවසූ දිලිප පීරිස් මහතා මේ දළදාවෙන් සැකකරුට වූ අසාධාරණය කුමක්දැයි විමසා සිටියේය.

ජනතා සංවේදී ආගමික ජාතිවාදී හැර අනෙක් ඕනෑම කතිකාවක් දරන්න පුළුවන් බව පැවසූ සොලිසිටර් ජනරාල්වරයා දළදාව වැනි බෞද්ධ ජනතාවගේ උතුම් මල්කඩ වන මෙවැනි ආයතනයකට අපහාස කිරීමේන් සැකකරුගේ මුඛ්‍ය පරමාර්ථය මුදල් ඉපැයීම පමණක් යැයි සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ දිලිප පීරිස් මහතා සැකකරු ආර්ථික අර්බුදයක් තිබෙන මෙවැනි අවස්ථාවක ආගමික ප්‍රචණ්ඩත්වයක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බවත් තම මූල්‍ය අභිප්‍රාය සඳහා ජාතිය මෙන්ම ආගමද ඔහු විසින් විකුණා ඇති බවය.

මෙහි දේශපාලන පක්ෂයක් නැහැ, ජාවාරම්කරුවන් කණ්ඩායමක් මේ මිථ්‍යා මත හදා එකී කාණ්ඩය හරහා හුවමාරු කර ගනිමින් අන්තවාදී විචාරයට ඉඩ දී ආගමික වෛරයක් සමාජගත කර තිබෙනවා යැයි දිලිප පීරිස් මහතා පැවසීය.

මේ අනුව මේ සිද්ධිය 2007 ජාත්‍යන්තර සිවිල් දේශපාලන සම්මුති පනත යටතට ගැනෙන වරදක් බවටත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලිප පීරිස් මහතා සඳහන් කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් දෙමින් මෙය 1940 අංක 9 දරන පුරාවිද්‍යා පනත යටතේ වරදක් වන බවට සඳහන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනු ලැබුවේ බෞද්ධ ජනතාවගේ හිත් රිදවන ආකාරයේ සිද්ධියක් බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා හා බෞද්ධ කේන්ද්‍රයේ ජිනාන්ද හිමියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙහි විමර්ශන පැවැත්වූ බවය.

“ඔබලාගේ ඔය දළදාව කියන දළදාවට කරන්න පුළුවන් දෙයක් නැහැයි ඇතුළු ප්‍රකාශයක් සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කර ඇති බවත් මෙමඟින් විශාල ජන කැළඹීමක් සිදු වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.



බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා හා බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ප්‍රනාන්දු පීරිස් යන අයගෙන් ප්‍රකාශ ගත් අතර මේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ ජනතාව අතර පිළිකුලක් හා බෞද්ධ සමාජය අතර කැළඹීමක් සිදුව ඇති බැවින් පොලිසියට මැදිහත් වී විමර්ශනයක් සිදු කරන ලෙසට ඔවුන් පොලිසියෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද නියෝග අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.

මොහුගේ මේ ප්‍රකාශය හේතුවෙන් අන්තර්ජාලය හරහා දැවැන්ත මතවාදයක් මෙන්ම කෝලාහලයක් නිර්මාණය වී ඇති බවත් ඔහු අදාළ ක්‍රියාව සිදු කිරීමට උපයෝගි කරගත් පරිගණකය, ජංගම දුරකතනය ඇතුළු භාණ්ඩ කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරමින් එහි රස පරීක්ෂකවරයා හරහා වාර්තාවක් කැඳවන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මල්වතු විහාරාධිපති, අස්ගිරි විහාරාධිපති හා දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දැල බණ්ඩාර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබා දීමට සූදානම් බවට දැනුම්දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට පැවසීය.

ආන්දෝලනාත්මක මේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ ජනතාව කැළඹීමකට පත් වූ අතර 2007 අංක 56 දරන සිවිල් දේශපාලන සම්මුති පනත හා 1940 පුරාවස්තු ආඥා පනතේ 15 (ඇ) දණ්ඩ නීති සංග්‍රහයේ 291 ආ ඇ වගන්ති ප්‍රකාරව සැකකරු වරදක් සිදු කර ඇති බවත් අන්තර්ජාලය හරහා මෙවැනි ප්‍රකාශ නිකුත් කර සැකකරු විසින් මුදල් රැස් කර ත්‍රස්තවාදි කණ්ඩායම්වලට මුදල් සැපයීම හා මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් සිදු කරන බවට අධිකරණය කරුණු දන්වා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් නැති බැවින් සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවය.

සැකකරු වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, මංජුල පතිරාජ, ලලිත් පතිරණ හා නාලක ප්‍රියවංශ යන අය පෙනී සිටිමින් සඳහන් කරනු ලැබුවේ සැකකරු විසින් ජනප්‍රිය බෞද්ධාගම ප්‍රචලිත කරමින් සැබෑ බුදුදහමට වෙන හානිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවය.

විද්‍යා ගුරුවරයකු විසින් අන්තර්ජාලය හරහා සිදු කළ දළදා වැස්ස යන්නට පිළිතුරක් ලබා දෙමින් සිය සේවාදායකයා විසින් මේ ප්‍රකාශය නිකුත් කළා මිස ආගමට හෝ දළදා වහන්සේට අපහාස කිරීමේ අරමුණක් නොතිබූ බවට නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අධිකරණය හමුවේ ශ්‍රද්ධාව නොව යුක්තිමය මනසකින් කරුණු සම්බන්ධයෙන් බැලිය යුතු බව සඳහන් කළ නීතිඥ මංජුල ප්‍රතිරාජ මහතා ලබ්බ ඇතුළේ තොවිල කරන සමහරක් මේ ප්‍රකාශයට අසීමිත ප්‍රචාරයක් දී ඇති බව පැවසීය.

සැකකරු අපොස සා.පෙළ පමණක් සමත් බවට නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කරනවා ඔහු පාර්ලිමේන්තුවේ සිටින අයගේ සුදුසුකම් හෙව්වාද? ඒවා හොයන්න කවුරුත් නැහැ බුදු දහම මුවාවෙන් මාධ්‍යවේදීන් දඩයම් කරන බවත් බුදු දහමට හානියක් වූ පවසන පදනමක් නැති මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ මනස යොමු කර සැකකරු නිදොස් කොට නිදහස් කරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2019 කැලණියට නාගයෙක් පැමිණි බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද සිය හඬ අවදි කර ඇති බව සඳහන් කළ නීතිඥවරු හිමිනමක් යටතේ ධර්මය ඉගෙනගෙන ධර්මය ඉගැන් වීම සිදු කරන මොහු සැබෑ බෞද්ධ ආගම එළියට ගන්න උත්සාහ කළ අයකු බව පැවසීය.

දේශපාලන පළි ගැනීමක් ලෙස මේ ප්‍රකාශය අල්ලා සමහරක් කටයුතු කරන බවත් බෞද්ධ ආගමට අපහාස කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව පෙරමඟ ගෙන කටයුතු කරනු ලැබුවේ මේ සැකකරු බවත් සැකකරු විසින් පවසා සිටින වචනය පාරිභාෂිත ව්‍යවහාර වචනයක් වන අතර මේ අටමගලය නිර්මාණය කරමින් යම් දේශපාලන කණ්ඩායමක් වාසි ලබා ගැනීමට ක්‍රියා කර ඇති බව පැවසීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප සම්බන්ධ නියෝගය ලබන 17 වැනි දින ලබා දෙන බවත් ඊට ප්‍රථම දෙපාර්ශ්වය මඟින් සිය ලිඛිත දේශන කාර්යාලය වෙත ගොනු කරන ලෙසට නියෝග කරමින් එදින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න, මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති ො පොලිස් පරීක්ෂක චානක සිල්වා, රජයේ අධිනීතිඥ ඇන්ටනි ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

සැකකරු වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, මංජුල ප්‍රතිරාජ, මංජු ශ්‍රී ඇතුළු නීතිඥයෝ රැසක් පෙනී සිටියහ.

No comments:

Powered by Blogger.