Header Ads

Breaking News
recent

පිටුපස දොරින් පාලනය ගෙනයන රාජපක්ෂවරුන්ට අමතක නොවන මැතිවරණයක්….

රටේ සංවර්ධනය, ගමේ සංවර්ධනය විනාශ කළ දුෂිත රාජපක්ෂවරුන් තවදුරටත් පිටුපස දොරින් පැමිණ සිදුකරන මෙම පාලනය නැතිකර දැමීම අරමුණු කරගනිමින් නව සන්ධානයක් හරහා පළාත් පාලන මැතිවරණයට තරඟ කරන බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
චම්පික රණවක මහතා මේ බව පවසා සිටියේ (21) දින පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

ඒ අනුව 43 සේනාංකය, කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය එක්ව අවබෝධතා ගිවිසුමක් මගින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආයතන කිහිපයක් සඳහා තරඟ කිරීමට නියමිත අතර, තවත් ආයතන සඳහා ස්වාධීන කණ්ඩායම් ලෙස ද තරග කිරීමට නියමිත බව ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අපි බලාපොරොත්තු වෙනවා රජය මේ මැතිවරණය මාර්තු 10 වෙනිදට පෙර තියයි කියලා. මුදල් නැතිකම කිසිම ආකාරයකට මේකට හේතුවක් නෙවෙයි. ඒ වගේම මෑතදී සම්මත කරන ලද වියදම් පිළිබඳ පනත ලොකු ගැටළුවක් නෙවෙයි. මොකද ඉතා කෙටි කලකින් පුළුවන් මැතිවරණ කොමිසමට වියදම් පාලනය කිරීමට අවශ්‍ය කරන රෙගුලාසි නිකුත් කරන්න. පසුගිය අවුරුද්දේ රට බංකොලොත් වුණා. ඒ බංකොලොත් වීමත් එක්ක මැයි 09 වෙනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂව රටේ ජනතාව සෘජු අරගලයකින් බලයෙන් පහ කරා . ජූලි 09 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව බලෙන් පහ කළා. හැබැයි ඒගොල්ලෝ දැන් ආයෙත් පිටිපස්ස දොරෙන් ඇවිල්ලා පළාත් පාලන ආයතන, ආණ්ඩුකාරවරු හරහා පළාත් සභාව, ඒ වගේම පාර්ලිමේන්තුව පාලනය කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, රාජපක්ෂවරුන්ටත් අමතක නොවන ජනවරමක් ලැබෙයි කියලා.

ආණ්ඩුවට දැන් සල්ලි නැහැ. මේ පළාත් පාලන ආයතන වලට වෙන්නේ ස්වශක්තියෙන් නැගී සිටින්න. විශේෂයෙන්ම මේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, මොරටුව වැනි මහ නගර සභාත් මහරගම, හෝමාගම, කැස්බෑව, බොරලැස්ගමුව, කොලොන්නාව වැනි ස්ථානත් ස්වශක්තියෙන් නැගීසිටවන්න ඕනේ. අපි පසුගිය කාලේ මේ දිස්ත්‍රික්කයේ කැලි කසල ප්‍රශ්නය සම්බන්ධයෙනුත්, ගංවතුර ප්‍රශ්නය සම්බන්ධයෙනුත් විශාල සේවයක් කළා. මේ වන කොට කවුරුවත් ඒ නගර සභාවල මේ ප්‍රශ්න ගැන දැන් කතා කරන්නේ නැහැ. ඒ වගේම ඉතාමත්ම වැදගත් දෙයක් තමයි අත්දැකීම් සහගත පිරිස්, තරුණ පිරිස්, වෘත්තීය මට්ටමේ පිරිස් මේ මැතිවරණයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ස්වශක්තියෙන් මේ ආයතන ගොඩනැංවීම සඳහා ඉදිරි කාලයේදී වැඩපිළිවෙලක් එක්ක කටයුතු කරන්න.”

– Media unit

No comments:

Powered by Blogger.