Header Ads

Breaking News
recent

ආණ්ඩුවේ ලොක්කන් දෙන්නෙකුට කිරිබත්වලින් ගහයි... නිවාස අඩස්සියට ගනී... පොලිසිය මැදිහත් වෙයි!

පෑලියගොඩ පිහිටි මග නැගුම ව්‍යාපෘති කාර්යාලයේ නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට ගිය එම ආයතනයේ සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට එහි සේවකයන් විසින් කිරිබත්, කැවුම් හා කැවිලි වර්ගවලින් ඊයේ (02) පහරදී තිබේ.
 
මග නැගුම සභාපතිවරයාත්, විධායක අධ්‍යක්ෂවරයාත් මේ හේතුවෙන් මගනැගුම කාර්යාලයේ කුටියක් තුළ පැය දෙකක කාලයක් සිරවී සිටි බවත් පෑලියගොඩ පොලිසියේ මැදිහත්වීම මත ඔවුන්ව එම කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙන බවත් මගනැගුම කාර්යාල ආරංචිමාර්ග පවසයි.
මගනැගුම ව්‍යාපෘති සඳහා බඳවා ගත් සේවකයන් හතළිහක පමණ පිරිසක් අත්තනෝමතික අන්දමින් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වීමත්, සේවකයන්ට ලබාදී ඇති නිල නිවාසවලින් සේවකයන්ව ඉවත් කිරීමට යාමත්, එම නිල නිවාසවලට එන අසීමිත විදුලි හා ජල බිල්පත්වලටත් පාලනාධිකාරියේ සිටින මෙම නිලධාරින් දෙපළම වගකිව යුතු බවත් කියමින් සේවකයන් මෙම කිරිබත් හා කැවුම් ප්‍රහාරය එල්ලකර ඇත.

මෙම කාර්යාලයේ සේවකයන් දැඩි විරෝධය පලකිරීම නිසා ඊයේ උදෑසන සංවිධාන කර තිබූ අලුත් අවුරුදු සාදය නොපැවැත්වුණු අතර සේවකයන් විසින් ඉතිරි වී තිබූ කිරිබත් හා කැවිලි වර්ග අනුභව කරමින් ඔවුන් ඔවුන් අතරේ අලුත් අවුරුද්දට සුබ පැතුම් එක්කරගෙන තිබිණි.

එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 සහ 49 යන වයස්වල පසුවන්නන් බවයි.

එක් සැකකරුවෙකු මග නැගුම සේවක සංගමයේ සභාපතිවරයා වන අතර අනෙක් සැකකරු එම සංගමයේම කමිටු සාමාජිකයෙකි.

– Repoter


No comments:

Powered by Blogger.