ෂාෆ්ටර්ගේ වෛද්‍ය වාර්තා පරස්පරයි! සයනයිඩ් කතාවත් අවුල්! වාර්තාව දී ඇත්තේ මාස 8කට කලින් වෛද්‍ය සභාවෙන් වැඩ තහනම් කරපු අධිකරණ වෛද්‍යවරයෙක්! කොහොමටවත් පිළිගන්න බෑ! ෂාෆ්ටර් පවුලේ නීතීඥයා කරුණු එකින් එක උසාවියට පෙන්වයි! මරණය ගැන තීන්දුවක් දීම මහේස්ත්‍රාත්වරිය කල් දමයි!
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු පරස්පර විරෝධි බැවින් එය කෙසේවත් පිළිගත නොහැකි බව මරණකරුගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (9) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට දැනුම් දුන්නේය.
එබැවින් මරණය සම්බන්ධයෙන් නියෝගය නිකුත් කිරිම කල් තබන ලෙස ඒ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළව මරණ පරීක්ෂණ සාක්කි විභාගය ඊයේ (9) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥවරයා මේ ඉල්ලීම කළේය.
වාර්තාව දී ඇති අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතාගේ සේවය වෛද්‍ය සභාව විසින් මාස 8ක කාලයකට තහනම් කර ඇති බවත් ප්‍රේමරත්න මහතා කීය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මරණය සම්බන්ධයෙන් තීන්දුවක් දීම ලබන මාර්තු 8 දිනට කල් දැමූ අතර, විමර්ශන තවමත් සිදු වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීම සලකා ලබන 8 දිනට පෙර විමර්ශනය සම්බන්ධ සංක්ෂිප්ත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.
අධිකරණය අමතමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙසේද සඳහන් කළේය:
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 372 වගන්තිය යටතේ මෙම මරණය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් අවස්ථානුගත සාක්ෂි අනුව ඔබතුමියට නියෝගයක් නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. විමර්ශන නිලධාරියා සහ පවුලේ අය කියන කරුණු අනුව වෛද්‍යවරයා මරණයට හේතුව ප්‍රකාශ කර තිබෙනවා. දිනේෂ් ෂාෆ්ටර් මහතා එක් විදත් තැපෑලක් නොව විදත් තැපැල් කිහිපයක් භාවිත කර තිබෙනවා.
අවසාන මොහොතේදී සමාගමක සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක සිටි බවට කරුණු අනාවරණය වෙනවා. එදින දවල් 11.23ට මෙම රැස්වීම සම්බන්ධයෙන් සම්පූර්ණ සටහනක් මරණකරු යොදා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විමර්ශනයක් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.
මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය නිරීක්ෂණයට ගිය අධිකරණ නිලධාරියෙකුගේ නිරීක්ෂණ සටහන් අනුව මරණකරුගේ දකුණු කරට ඉහළින් සහ අඟල් දෙකක් පහළින් අඟල් දෙකක ප්ලාස්ටර් දෙකක් තිබුණු බවට සටහන් වෙලා තියෙනවා. වම් ඇස අසල හා දකුණු ඇස අසල රත් පැහැ වීම් හා රතු සීරීම් ඇති බවට සලකුණු තිබෙනවා.
අත් දෙකේ මාපට ඇඟිලි දම්පැහැ ගැන්වීම හා දේහයේ යට පැත්තේ රත් පැහැ ගැන්වීම උදරයේ මැද සිට දකුණු කකුලේ ඉදිරියේ රත්පැහැ තුවාල ඇති බවට නිරීක්ෂණ සටහන් යොදා තිබෙනවා.
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් මහතා 2022/12/20 දින වෛද්‍ය සභාව විසින් මාස 8ක කාලයකට ඔහුගේ සේවය තහනම් කර තිබෙනවා.
තන්තුවකින් ගෙල සිර කිරීමෙන් ශ්වසනය ඇන හිටීම නිසා මරණය සිදු වූ බවට මුලින් මරණයට හේතුව ලෙස වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරන විට මරණයට හේතුව වෙනස් වෙලා. සයිනයිඩ් ආහාර සමඟ ගත් බවට හා තන්තුවකින් ගෙල සිර කරගැනීමෙන් සිදු වූ මරණයක් බවට වෙනස් වෙලා.
මා දන්නා විදිහට සයිනයිඩ් වර්ග දෙකක් තිබෙනවා. පොටෑසියම් හා සොඩියම් සයිනයිඩ්. සයිනයිඩ් ගත් පුද්ගලයෙකු කෙටි කාලයක් තුළ මරණයට පත් වෙනවා.
අමෙරිකානු විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ආමාශගත සයිනයිඩ් සම්බන්ධයෙන් සිය මතයක් ප්‍රකාශ කර තිබෙනවා. සෛල ඔක්සිජන් උරාගැනීම අඩපණ වන නිසා ශරීරය රෝස පැහැගැන්වීමට හැකි බව ඔහු පවසා තිබෙනවා. ඒත් මේ වාර්තාවේ උඩ කොටස් කළුපැහැ ගැන්වී ඇති බවට සටහන් යොදා තිබෙනවා. සයිනයිඩ් කෑ පුද්ගලයකුගේ බල නහර දිගේ පිලිස්සීම් තුවාල තිබිය යුතුයි. ඒ බව සටහන් නැහැ. රස පරීක්ෂක වාර්තා සඳහා කොටස් තුනක් ලේ සාම්පල් යොමු කර තිබෙනවා. ලකුණු කරන ලද, ලකුණු නොකරන ලද ලේ සාම්පල මෙන්ම උදරයේ තිබු දෑ සම්බන්ධයෙන් මෙම රස පරීක්ෂක වාර්තා කැඳවා තිබෙනවා. ලකුණු කළ ලේවල සයිනයිඩ් මිලිලීටර් 2.3ක් උදරයේ සයිනයිඩ් මිලිලිටර් 4ක් දක්වා තිබෙනවා. ඒත් මරණය සයිනයිඩ් විෂ වීමෙන් සිදු වන්න නම් මිලි ලීටර් 3ක් සිරුරේ තිබිය යුතුයි.
තවද අධිකරණ වෛද්‍යවරයාට අනුව ගෙලෙහි මාංසපේශි තැළෙන්න පුළුවන් මුල් වාර්තාව අනුව තුවාලයක් දැකලා. පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව මරණය ගෙල සිර කරගැනීමෙන් සිදු වූවක් බව පවසනවා. මරණකරුගේ ගෙලෙහි මාංසපේශි තට්ටුවෙන් තට්ටුව ඉවත් කරන විට ඊට පෙර හෝ පසු බෙල්ලේ ලේ කැටිගැසීමක් හෝ තැළීමක් නැති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේ සඳහන් වෙනවා.
තවදුරටත් මරණකරුගේ නියපොතු ඩීඑන්ඒ වාර්තාව සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධ වාර්තා තවමත් ලැබී නැහැ. ඔබතුමියට තීරණයක් ගන්න මෙම වාර්තාත් ලැබෙන්න ඕනේ.
මෙම මරණය සම්බන්ධ කරුණු පරස්පරයි. මෙය පිළිගන්න බැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 373 (2) වගන්තිය යොදා ගැනීම සම්බන්ධයෙන් මා අධ්‍යයනය කරමින් සිටිනවා.“
මේ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක ඝාතන හා අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරි මනෝජ් ගයන්ත යන අය සාක්ෂි දෙමින් මෙසේ පැවසීය:
“2022/12/15 කීර්තිමත් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේ ඔහුගේ කාර් රථය තුළ ගෙල සිරකර සිහිසුන්ව සිටියදී ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ මියගිය බවට දැනගන්න ලැබුණා.
පොලිස්පතිවරයාගේ නියෝගය අනුව අප විමර්ශන අංශය වෙත විමර්ශන බාර දුන්නා. ඒ අනුව කණ්ඩායම් 14ක් යොදා විමර්ශනය කළා. කනත්ත ප්‍රදේශය, සීසීටීවී දත්ත පරීක්ෂාව. මෙම මරණකරුගේ ව්‍යාපාරික තොරතුරු, පරිගණක දත්ත දුරකතන දත්ත ආදි කරුණු සදහා පුහුණු පිරිසක් යෙදෙවුවා. මරණකරුගේ නිවෙසේ සිට බොරැල්ල කනත්ත මාර්ගය සඳහා සීසීටීවී පද්ධති 12ක් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළා. සීසීටීවී විමර්ශන අනුව 2022/12/15 මල් පාර කොළඹ 7 මරණකරු සිය නිවෙසින් පැය 14ට පිටත් වෙලා තිබෙනවා. එම පිටත් වීම සම්බන්ධයෙන් ගරාජයේ හා ගේට්ටුවේ තිබු සීසීටීවී දර්ශන සටහන් වෙලා තිබෙනවා. සමීප දර්ශන පරීක්ෂා කරන අවස්ථාවේ ඔහු ගමන් කළ කාර් රථයේ රියැදුරු අසුනට යාබද වම්පස අසුනේ සුදුපාට සිප් ටයි පටියක් හා මිය යන අවස්ථාවේ ගෙල ප්‍රදේශයේ තිබූ බවට හඳුනාගන්නා ලද කේබලයේ පාටට සමාන කේබල් පටියක් දිස් වුණා.
මරණකරු පිටත් වීමේදී කාර් රථය පණගන්වා මඳක් ඉදිරියට ගෙන ඩිකිය පරීක්ෂා කර නැවත නිවෙස දෙසට ගොස් නැවත වාහනය පණ ගන්වා ගිය බවට ආරියවතී යන අයගේ ප්‍රකාශයෙන් සටහන් වෙනවා.
මෙම සියලු සීසීටීවී දර්ශන විමර්ශනය කිරිමේදී රථය පිටුපසින් කිසිදු රථයක් හෝ කිසිදු පුද්ගලයකු ලුහුබඳින ආකාරයක් නිරීක්ෂණය වුණේ නැහැ. සීසීටීවී දර්ශන අනුව මරණකරු තනිවම රථයේ ගමන් ගත් බවට විමර්ශනයෙන් අනාවරණය වුණා.
මරණකරු නිවෙසින් පිට වූ පසු මලලසේකර මාවතේදී රුදිගු වෙළෙඳසලින් පැටිස් එකක් හා පේසට්රියක් මිලට ගෙන නැවත බොරැල්ල කනත්තට එනවා. මරණකරු පැය 14ට නිවෙසින් පිටත් වී පැය 14.18ට බොරැල්ල කනත්තට එනවා. දේවි බාලිකා පාසල ඉදිරි දොරටුවෙන් කනත්ත දෙසට ඇතුළු වීම සටහන් වෙලා තිබෙනවා. පැය 14.19ට එම අයගේ රථය ගුවන් හමුදා ස්මාරකය අසල නතර කරන දර්ශන සුපර් ලිමිට් ගොඩනැඟිල්ලේ සීසීටීවී දර්ශනවල සටහන් වෙලා තිබෙනවා. අපරාධය වන අවස්ථාවේ එදින කනත්ත තුළට භුමදානය සඳහා දේහයන් 6ක් සහ ආදාහනය සදහා දේහ 8ක් රැගෙන ඒමට නියමිතව තිබුණා. එදින පැය 15ට භුමදානය සඳහා මරණයක් ගෙන ඒමට තිබුණත් එම පාර්ශ්වයේ පෞද්ගලික හේතුවක් මත මඳක් ප්‍රමාදයක් වී තිබුණා.
ඒ අවස්ථාව වන විට කනත්තේ සේවකයන් හා මරණෙ සඳහා පුද්ගලයන් පැමිණ සිටි බවට අනාවරණය වුණා.පැය 14.15ට පෙර අදාහනයක් සිදු කිරිමට මහජනතාව පැමිණ තිබුණා.
කනත්තේ සේවකයන් දෙදෙනා වන මිටින් තිලාන් හා මාටසාමි ජොන් ඇන්ටන් හා සුසාන භුමි භාරකරුගේ ප්‍රකාශ ගත්තා. සේවකයන් දෙදෙනා උදැසන සේවා රාජකාරි අවසන් කර විවේකය සදහා පිටව යාමෙන් පසු නැවත පස්වරු 2.30ට පමණ සේවකයින් ඔවුන් භුමදානයට කපන ලද වල මල්වලින් සැරසිමට පැමිණ සිටියා. එම පැමිණිමේ දී මොවුන් දෙදෙනා මීටර් 200 දුර ගුවන් හමුදා ස්මාරකය අසල නවතා තිබු කාර් රථය දැකලා තිබ්බා.ඔවුන්ට පුද්ගලයකු මෙම රථයෙන් නගින බහින ආකාරය දිස්වෙලා නැහැ. එම කාර් රථයේ පිටුපස දිසාවේ සිට ඉදිරිපසට පුද්ගලයකු ගිය බව ඔවුන් දැක තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනා රාජකාරි සිදු කරමින් සිටිය දී සුදු මහත පුද්ගලයකු ඉදිරි දොර ඇරගෙන කැ ගැසුවා. එම කෑගැසීම ඇසුණු පසු මොවුන් දෙදෙනා එම ස්ථානයට ගිය බව සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා එම ස්ථානයට ගිය පසු කාර් රථයේ රියදුරු අසුනේ පුද්ගලයකු බෙල්ල වම්පසට බරව ඇඳ සිටි බැනියමේ වමනය දමාගෙන සිටි බව දැක තිබෙනවා. දෑත පටියකින් බැඳ තිබූ අතර පපු ප්‍රදේශයේ වයරයක් තිබු බවට පැවසුවා.රෝහල්ගත කරන්න ඔහු පිටුපස අසුනට ගන්න උත්සාහ කළත් එය සාර්ථක වුයේ නැති බැවින් එම කාර් රථයේ ඉදිරි වම්පස අසුනට පැමිණි උස මහත පුද්ගලයෙකු එම රථයෙන්ම ජාතික රෝහලට ඇතුළු කළා.
වාහනයේ විදුලි පහන් දල්වා වාහනය පණ ගන්වා තිබු බවත් පැමිණි උස මහත අය බොස් දිනේෂ් යනුවෙන් කෑ ගැසුවා. සේවකයින් දෙදෙනා ඔහු දකින විට මරණකරුගේ බෙල්ල වම්පැත්තට බරව දැත බැද පපු ප්‍රෙද්ශයේ වයරය තිබූ අතර ඇඳුම්වල වමනය තිබුණු බවට ඔවුන් පැවසුවා.
මරණකරු බොරැල්ල කනත්තේ සිහිසුන්ව සිටිය දී දෑත බැඳපු සිප් පටිය සහ බෙල්ලේ තිබු කේබලය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළා. මෙම කේබලය ඩිෂ් ටීවී කේබලයක් බවට හඳුනා ගත්තා. ඒ අනුව මරණකරුගේ නිවෙස පරීක්ෂා කළ විට බිරියගේ මවගේ කාමරයට ඇතුළු වන ආලින්ද කොටසේ රූපවාහිනී යන්ත්‍රයේ ටීවී කේබලයක් හමු වුණා. එම කේබලය හා මරණකරුගේ බෙල්ලේ තිබූ කේබලය සමානයි.
රජයේ රස පරීක්ෂක නිලධාරින් එම ස්ථානයට පැමිණ එම කේබලය ඔවුන් භාරයට ගත්තා. මරණකරුගේ දැතට යොදා තිබූ සුදුපාටට හුරු සිප්ටයි පටිවලට සමාන සෙන්ටිමීටර් 50 ටයි පටි අටක් නිවෙසේ තිබී සොයාගත්තා. නිවෙසේ කාර්යාල කාමරයේ තිබි සෙන්ටිමිටර් 25ක සිප් ටයි පටි 11ක් විමර්ශන නිලධාරි භාරයට ගත්තා.
මරණකරුගේ කේබල් කොටස සෙන්ටිමටර් 263 ප්‍රමාණයක් වන අතර ඉතිරි කොටස් නිවසේ තිබු කේබලය හා සැසඳී තිබෙනවා.
රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති යන්ත්‍රයක්. මෙහි කේබලය ඉවත් කිරිම සම්බන්ධයෙන් නිවසේ අය දැන හිටියේ නැහැ.
මරණකරුගේ ඥාතින් සහ පෞද්ගලික සහායකගෙන් ප්‍රකාශ ගත්තා. මරණකරු මිය යන්නට මාස එකාමහාරක සිට කලකිරීමකින් මෙන්ම දැඩිව කේන්ති යන ස්වභාවයෙන් සිටි බවට සැල වුණා. ව්‍යාපාර සම්බන්ධයෙන්ද දැඩි උනන්දුවක් දක්වා නැහැ. බිරිය හා පෞද්ගලික සහායකයා භාවිතෙ කළ ජංගම දුරකතන හා ටැබ් යන්ත්‍ර අප භාරයට ගෙන විමර්ශනය සිදු කළා.
මරණකරු 2022/11/26 සුහද හමුවකට කළුතර අමානි හෝටලයට ගොස් තිබෙනවා. ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සේවක හමුවෙන් පසුව 27 දින පැය 15.5ට අමානි හෝටලයේ 144 කාමරයේ සිට ලිපි කිහිපයක් සකස් කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන හා සේවක ප්‍රකාශ ගෙන තිබෙනවා.
මිය ගිය 2022/12/15 දින තෝමස් බ්‍රයන් වට්ස්අප් යෙදුම හරහා කෙටි පණිවිඩ එවා තිබුණා. ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සමඟ ව්‍යාපාර සිදු කරමින් මතගැටුම් ඇති කරගෙන තිබුණා. ව්‍යාපාරිකයින් හතරදෙනෙකු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කළා. ජංගම දුරකතන කුලුනු වාර්තා අනුව කිහිපදෙනෙකු සම්බන්ධ වී නැහැ. විශාල ලෙස බ්‍රයන් තෝමස් සම්බන්ධ ව්‍යාපාරික ගනුදෙනුව පාඩු සිදුව තිබුණා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ද නඩු කටයුත්තක් තිබුණා.
බ්‍රයන් තොමස් කෝටි 140ක්, විලියම් ගුණවර්ධන කෝටි 12ක්, එස් ජෙගනාදන් කෝටි 82ක් හා දිප්ත පෙරේරා කෝටි 10ක්. ඊට අමතරව නුවරඑළියේ ඉඩමක් මිල දී ගැනීමෙන් කෝටි 300ක පාඩුවක් සිදු වූ බවට වාර්තා වෙනවා. මේ නිසා ෂාෆ්ටර් මහතා විශාදය නැමැති රෝගයෙන් පෙළුණු බවට විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රතිකාර ලබා ඇති බවට වෛද්‍ය වාර්තා තිබෙනවා. පෞද්ගලික සහකාර ත්‍රිස් පෙරේරාගේ සේවය අගයමින් ෂාෆ්ටර් මිය යන්නට පෙර ලිපියක් දී තිබුණා.“
මේ අනුව එකී වෛද්‍ය කාඩ් පත් හා විශේෂඥ වෛද්‍ය සභාවක වෛද්‍ය වාර්තාද අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
“2022/12/15 මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා සම්බන්ධ අවසන් මරණ පරීක්ෂණ වාර්තාව අනුව සයිනයිඩ් ශරීරගත වීම මත සිදු වූ මරණයක් බවට සඳහන් කර තිබෙනවා. මේ අනුව මේ මරණය සිදු කිරීම සදහා ආගන්තුක පුද්ගලයෙකු කාර් රථයට පැමිණි බවක් හෝ මරණය සිදු කළ බවත් අනාවරණය වන්නේ නෑ“ හෙතෙම සාක්ෂි දෙමින් පැවසීය.
-lankasara
No comments: