Header Ads

Breaking News
recent

අනුර කුමාරට ජාත්‍යන්තර සබදතා නෑ... ඉන්දීය ධීවර බෝට්ටුවකින්වත් තෙල් ලීටරයක් ගන්න බෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු

අනුර දිසානායක මහතාට රට පාලනය කිරීමට නොහැකි බවත් ඔහුට රට පාලනය කිරීමට කිසිදු ජාත්‍යන්තර සම්බන්ධකමක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අනුර දිසානායක මහතාට ඉන්දියානු ධීවරයෙක්ගෙන්වත් තෙල් ලීටරයක්වත් ණයට ගැනීමට නොහැකි බවත් මාලදිවයිනෙන්වත් උදව්වක් ලබාගත නොහැකි බවත් පැවසූ ඔහු පසුගිය කාලයේ බැසිල් රාජපක්ෂ මහතා ගත් ඩොලර් බිලියන හතර හමාරක් ඉන්දියානු ණය මුදලින් ඉන්ධන ගසාගෙන අරගලයට පැමිණ කපුටු කාක් හෝන් ගැසූ බවද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හමුවක් අමතමිනි.

සමහරු කියනවා මේ මැතිවරණයේදී ජේවීපී එකට සෙනග ගොඩක් ඉන්නව කියලා. අපි හැමදාම දැක්කා ජේවිපේ එකේ ඔය සෙනඟ. මැතිවරණ පැරදුනත් ඔවුන්ට සෙනග ගේනන පුලුවන් යාන්ත්‍රණයක් තිබෙනවා. ඔවුන්ට 70,000 ක බලඇණියක් ඉන්නවා කියනවා , 70,000 ක බලඇණියකට වියදම් කරන්න සල්ලි කොහෙන්ද. අනුර දිසානායකට රැස්වීම් සංවිධානය කරන්න කෝටි ප්‍රකෝටි ගාණක් මෙච්චර සල්ලි කොහෙන්ද.

ජවිපෙ නිකවැරටිය කොට්ඨාශයේ රැස්වීම තිබ්බා ..ඒකට මුලු දිස්ත්‍රික්කයෙන්ම සෙනග ගෙනල්ලා තිබ්බා. 2000ක් වත් සෙනග හිටියේ නැහැ. නමුත් ඔවුන් ෆේස්බුක් එකේ රැල්ලක් හදලා තිබෙනවා සෙනඟ ඉන්නේ ඔවුන්ට කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජවිපේ ඡන්ද 42,000යි ගත්තේ .මම ගණන් හදලා කිව්වා සියයට සීයක් ගත්තොත් කීයද සීයට හාරසීයක් ගත්තොත් කීයද කියලා. උපරිමයෙන් ලබුනොත් 120,000ක් 130,000ක් ඡන්ද හම්බ වෙයි. ඒ නිසා ඔවුන්ට කවදාවත් බලය ලබාගන්ට හම්බ වෙන්නේ නැහැ.

මේ රටේ ග්‍රාමීය ජනතාවට වැඩියෙන්ම වැඩ කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩු කාලවලදී . රාජපක්ෂ වරුන්ට පහර පිට පහර ගහන්න වෙන කිසි දෙයකට නෙමෙයි මොවුන්ගේ දක්ෂකම් වලට. කුරුණෑගල දිස්ත්‍රික්කය බහුතර කොට්ඨාස සංඛ්‍යාවක් පොහොට්ටුව ජයග්‍රහණය කරනවා. දැන් ජවිපේ රටපුරා කියාගෙන යනවා රට බංකොලොත් වෙලාලු. හැබැයි ජවිපෙ බංකොලොත් වෙලා නැහැල්ලු .

අනුර කුමාර දිසානායක මහත්තයාට පුලුවන් ද මේ රට පාලනය කරන්න. එතුමාට මේ රට පාලනය කරන්න තිබෙන ජාත්‍යන්තර සම්බන්ධකම මොකක්ද. අඩුම තරමේ මාලදිවයිනෙන් හරි උදව්වක් ගන්න පුළුවන්ද . එතුමාට කිසිම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නැහැ . බැසිල් රාජපක්ෂ එදා ඩොලර් බිලියන 4.5 ණයක් ඉන්දියාවෙන් අරන් දුන්නා.ඒකෙන් තමයි තෙල් ගහගෙන අරගලයට ඇවිත් කපුටු කාක් හෝන් ගැහුවෙ.පහුගිය කාලෙ රට දිවිවෙ ඉන්දියානු නය ආධාරයෙන්.අනුරට පුලුවන්කමක් නෑ අඩුම ඉන්දියන් ධීවරයෙක්ගෙන් එක තෙල් ලීටරයක් ගන්න.එදා මම කුරුණෑගලදී කිව්වා රට පාලනය කරන්න එතුමන්ලාගේ දහයක් පෙන්නන්න කියලා. කවුද ඒ ගොල්ලන්ගේ මුදල් ඇමති , කවුද විදේශ කටයුතු ඇමති කියලා. එහෙම එම පෙන්නන්න පුළුවන් හයියක් තියෙන අය ඒ ගොල්ලො ලඟ නැහැ.එහෙම දක්ෂකම් තියෙන අය ජනතා විමුක්ති පෙරමුණේ නැහැ. මේ වගේ බොරු මවාපාලා හැමදාම කළේ මේ රටේ මිනිස්සු ටික විනාශ කරපු එක විතරයි . 71 සිරිමාවෝ මැතිණියගේ කාලයේ රෝහණ විජේවීර එදා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා 12000ක් විතර තරුණයෝ කනත්තට දක්කන් ගියා. 87/88 තරුණයෝ 60,000ක් කනත්තට ගියා. මොවුන් ලේ පිපාසයෙන් පෙළෙන දේශපාලනඥයෝ. එදා අනුර දිසානායක ගෝල්ෆේස් එකට , ලාල් කාන්තලා සුනිල් හඳුන්නෙත්තිලා පාර්ලිමේන්තු ඉස්සරහට ඇවිල්ලා කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ද ?රටේ ජනතාව ගැන ජනතා විමුක්ති පෙරමුණේ තියෙන වෛරය ක්‍රෝධය ගැන අමුතුවෙන් උගන්නන්න දෙයක් නැහැ. ඔවුන්ගේ මුහුණුවල් දිහා බැලුවම අපිට පේනවා ඔවුන්ගේ තිබෙන වෛරය. ඔවුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. එදා ඔවුන් පාර්ලිමේන්තුවේ බලය ඇල්ලුවා නම් පොහොට්ටුවේ ප්‍රධානීන්ව ඔවුන් ඝාතනය කරනවා. ඔවුන් පොතක් ලියයි රාජපක්ෂලා එක්ක හොරු ටිකක් හිටියා ඔවුන්ව මරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කලා කියලා. එහෙම දෙයක් සිදු වෙන්න ඉඩ තිබ්බා.නමුත් මේ රටේ මිනිස්සු එච්චර පවු කරලා නැහැ. ඒ නිසා රටක් හැටියට අපි බේරුනා. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නීතිය හරියට ක්‍රියාත්මක කළ රට පාලනය කරගෙන යනවා. ඒ නිසා දැන් එතුමාට ගහනවා වික්‍රමසිංහ කියන නම අමතක කරලා රනිල් රාජපක්ෂ කියලා. ෆේස්බුක් එකේ වසන්ත මුදලිගේගෙන් අහනවා රනිල් රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරපුවාම මේ රටේ ජනාධිපති කරන්නේ කාවද කියලා.ඔහුට ඒකට උත්තරයක් නැහැ.

අපි මේ මැතිවරණයේදී බැහැල වැඩ කරමු. අපේක්ෂක අපේක්ෂිකාවන් විදියට ඔබ සැම ඉදිරිපත් වූයේ නැත්නම් මේ රට කාටද යන්නේ. ඔබෙයි අපෙයි යුතුකමක් තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. කවුරු කොහොම කිව්වත් මේ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය වන්නේ පොහොට්ටුව කොට්ඨාශය බහුතරයක් ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභා බහුතරයක බලය ලබා ගැනීමයි. අද සජිත් පේමදාස ඉන්නේ ශක්තිමත් තැනක නෙවෙයි. අනුර දිසානායක සීයට දෙක තුනක් ඡන්ද වැඩියෙන් ලබා ගත්තොත් ඒ හැම එකේම වාසිය ලැබෙන්නේ අපිටයි. අපේ ලක්ෂ 69 න් ලක්ෂ 19 ක් , ලක්ෂ 29 ක් පැත්තකින් තිබ්බත් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ අපියි. ඒ නිසා අපේක්ෂකයන් ලෙස ඔබතුමන්ලා උපක්‍රමශීලීව කටයුතු කරන්න.

මගේ යාළුවෙක් මේ ලඟදි මාත් එක්ක කිව්වා. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට එයාගේ නෝනා , නැන්දම්මා ,මාමණ්ඩියා ගියා කියලා. ඇයි ඒගොල්ලො ගිහිල්ලා තියෙන්නෙ..ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකයා ඇවිල්ලා කිව්වලු අර ඇමතිතුමාගේ ගෙවල් ගිනි තිබ්බා , මීළඟට මැතිවරණයෙන් පස්සේ කාගේ ගෙවල් ගිනි තියයිද දන්නේ නැහැ. ඒ හින්දා ඕගොල්ලෝ ඇවිල්ලා අපේ රැස්වීමේ පෙනී ඉඳලා ගියොත් ඕගොල්ලෝ අපේ අය හැටියට හංවඩු ගැහෙනවා , එතකොට ඕගොල්ලන්ගේ ගෙවල් ගිනි තියන්නේ නැහැ කියලා. මෙහෙම තමයි ඒගොල්ලො ඔළුවට භය සංකල්පය ඇතුල් කරන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වල ඉන්නේ භයට රැස්වීමට යන අය. ඇයි අද මිනිස්සු අනුර දිසානායකට මෙච්චර බය. වෙන කිසිම දේකට නෙමෙයි ඔවුන්ගේ මිනීමරු අදහස් වලට. මේ ගැන 2000 න් පස්සේ ඉපදිච්ච අය දන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඒ ගොල්ල ඇවිල්ලා ඉන්නේ හොරු අල්ලන්න කියලා. කවුද මේ හොරු ටික . කවුද මේ මිනී මරුවෝ. අපේ අහිංසක අම්මලා තාත්තලාගෙ රත්තරන් ටික ගත්තෙ කවුද. ඒ කාලේ අපේ අම්මලා හිටියේ කනේ කරාබු ටික හංගලා. මාලයක් කරට දාන්නෙ නැහැ. වළල්ලක් අතට දාන්නෙ නැහැ. ඒ ඇයි ජෙවිපේ හොරු ටික ඇවිල්ලා ඒවා අරං යන නිසා. ගම්වල අහිංසක පීඩිත මිනිස්සුන්ගේ අයිඩෙන්ටි කාඩ් ටික ටික අරගෙන ගියා. අහිංසක ගොවියන්ගේ ගොවි මධ්‍යස්ථානයේ ගිනි තිබ්බා. ඩිපෝ සුපිරින්ටන් මැරුවා. ඔවුන්ගේ උත්පත්තියෙන් ඔවුන්ගේ ජාන වල තියෙන්නෙ මිනීමරු අදහස්. උප්පත්තියෙන්ම ඔවුන්ගේ ජාන වල තියෙන්නෙ හොරකම. මේ ලඟදි දිලිත් ජයවීර මහත්තයා කියනවා ඔහුට ඉඩම් ව්‍යාපාර හැම තැනම තියෙනවා කියලා. හැමතැනම කෝටි ගණන් මුදල් ආයෝජනය කරලා තියනවා කියලා. ඒවා අදටත් අනුර දිසානායක මහත්තයා නැහැ කියලා නැහැ. අහන්න කර්මාන්ත කරුවන් ගෙන් ගිහිල්ලා වසන්ත සමරසිංහ මාසෙට කීයක් කප්පම් ගන්නව ද කියලා . ඔවුනට කප්පම් නැත්නම් කර්මාන්තයේ ගෙනියන්න දෙන්නේ නැහැ . යූනියන් එක ගෙනල්ල ඒක වහල දානවා . හැමදාම උද්ඝෝෂණය කරවනවා. ඒ නිසා මේ රටේ බහුතරයක් කර්මාන්තකරුවෝ මාස්පතා ජේවීපී එකට කප්පම් ගෙවනවා. මේක තමයි යථාර්ථය. එම නිසා එවැනි කල්ලි පරාජය කරන්න අපි වැඩකටයුතු කරමු.

– Media unit

No comments:

Powered by Blogger.