ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණවල සැක තැන් රැසක්! ‘මුලින් ගෙල සිර කරලා’! ‘පස්සේ ගෙල සිරකර ගැනීමක්’! ‘ඊටත් පස්සේ සයනයිඩ් කතාවක්’! CID එක උසාවියේදී අමුතු කතාවක් ගොතයි! ෂාෆ්ටර් පවුලේ නීතීඥයා CID කතා එකින් එක බොරු කරයි! ලබන නඩු විභාගයේදී ලොකු රහසක් එළියට!
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය තවමත් ඇත්තේ නොවිසඳුණු අභිරහසක් ලෙසිණි. දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කර ඇති විමර්ශන තත්ත්වයන් පමණක් නොව, මේ වන විට එම මරණයට හේතුව දක්වමින් අධිකරණයට ඉදිරිපත් වී ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පවා දැන් ඇත්තේ අධිකරණයේ අභියෝගයට ලක්වය. ඒ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා පවා මොහොතින් මොහොත වෙනසකට ලක් වී ඇති බැවිනි.
ඊට අනුව දිනේෂ් ෂාෆ්ටර් මුල් අවස්ථාවේදී ඝාතනය වන්නේ ගෙල සිර කිරීමකිනි. ඒ ඔහුගේ ඝාතනය සිදු වී පැය 24ක් යන්නට මත්තෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුවය. දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එළියට එන්නේ මුල් පරීක්ෂණ වාර්තාව සකස් කළ අධිකරණ වෛද්‍යවරයාගෙන්මය. ඊට අනුව දිනේෂ් ෂාෆ්ටර් මියගොස් ඇත්තේ ගෙල සිරකර ගැනීමකිනි. ඒ තුළින් කියාපාන්නට වූයේ වෙන කිසිවක් නොව, දිනේෂ් ෂාෆ්ටර් ඔහු විසින්ම ගෙල සිර කරගෙන ඝාතනය වී ඇති බවකි. දැන් තවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් එළියට විත් හමාරය. එය එළියට දාන්නේ ද එකම අධිකරණ වෛද්‍යවරයාය. ඊට අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සයනයිඩ් විසෙනි. මෙමඟින් ද කියැවෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් සයනයිඩ් කා සියදිවි හානිකර ගැනීමකි. ඒ බව තහවුරු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් අමුතු කතා කියන්නට ද විය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් බව අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන වැඩේ හමාර කරන්නටය. එහෙත් ඊට මෙතෙක් ඉඩක් ලැබී නැත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ උදවිය මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බව පිළිගන්නට කිසිසේත් සූදානමක් නැති බැවිනි. ඒ අයගේ පැත්තෙන් කියැවෙන්නේ මෙය සංවිධානාත්මක සිදු වූ මිනිස් ඝාතනයක් බවය.
දිනේෂ් ෂාෆ්ටර්ව එල්ලා මරා ගන්නට බැරි වූ තැන සයනයිඩ් කා සියදිවි හානිකර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම විමර්ශකයන් කියන විට අපරාධ විමර්ශනයේ හසළ පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආකස්මිකව සිනා එයි. ඒ අපේ රටේ පොලිසිය අපරාධ විමර්ශන පවත්වන ආකාරය ගැන හොඳින්ම දන්නේ ඒ අය වන බැවිනි.
පුදුමසහගත කරුණක් වන්නේ ඔය කියන දින දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන විමර්ශනයක් අධිකරණය තුළ විභාග නොවීමය. එය සිදු වන්නේ 09 වෙනිදාය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් 09 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි අකුරක් නෑර 08 වෙනිදා මාධ්‍ය තුළ පළ වන්නේ ද අධිකරණ වාර්තාවක් ලෙසිනි. අඩුම තරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ගැන අධිකරණය දැනුම්වත් කිරීමටවත් කිසිදු උනන්දුවක් නොවීය. ඒ සිදු වූයේ කුමක්දැයි ඔවුන් හොඳාකාරවම දැන සිටි බැවින් විය හැකිය. ඒ අනුව පැහැදිලි වන්නේ දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානි කර ගත්තේ යැයි සමාජ ගත කරමින් අධිකරණ කටයුතුවලට පවා බලපෑම් කරන්නට තරම් බලවත් හස්තයක් ඒ පිටුපස සිටින බවය.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සමාජයේ දැඩි කතාබහට මෙන්ම අවධානයකට යොමුව ඇති ඝාතනයකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම ඝාතන අභිරහස විසඳන්නට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් පවරන්නේ ද එබැවිනි. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට පැවරුණු එම වගකීම කොතරම් සාර්ථකව ඉටුකර තිබේදැයි දන්නේ ඔවුන් පමණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් මෙම ඝාතනය ගැන කර ඇති විමර්ශන තත්ත්ව පිළිගැනීමට දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ උදවිය මෙන්ම සමාජය සූදානම් නොමැති පසුබිමක් මේ වන විට ගොඩනැඟී ඇති නිසාය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතන විමර්ශනය සියදිවි හානිකර ගැනීමකින් අවසන් කරන්නට ලොකු මහන්සියන් ගනිමින් ඇති බව පෙනෙන්නට ඇති බැවිනි.
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සිදු වන්නේ පසුගිය දෙසැම්බර් 15 වෙනිදාය. දිනේෂ් ෂාෆ්ටර්ගේ පියා වන ප්‍රබල ව්‍යාපාරික චන්ද්‍රා ෂාෆ්ටර් පවසන්නේ දිනේෂ් සිය බිරිය සහ දරුවන් සමඟ එංගලන්තයේ පදිංචියට යෑමට මෙදින සූදානමින් සිටි බවය. මෙදින ඔහු සාමාන්‍ය ලෙස සිටි බව මෙන්ම වෙනසක් නොදුටු බව චන්ද්‍රා ෂාෆ්ටර් පවසයි. ඔහු පවා පෙන්වා දෙන්නේ සිය පුතාගේ මරණය ඝාතනයක් බවය.
අඩුම තරමින් දිනේෂ් ෂාෆ්ටර් ගොදුර බවට පත්වූ මෝටර් රථය අසල රැඳී සිට අභිරහස් ලෙස අතුරුදන්වූ පුද්ගලයාව සොයාගත් බවක් හෝ අදටත් දැනගන්නට නැත.
මෙවන් විමර්ශන තත්ත්වයක් හමුවේ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ විමර්ශනවල උච්චතම අවස්ථාව අධිකරණය හමුවේ දිග හැරෙන්නේ පසුගිය 09 වෙනිදාය. ඒ ඊට පෙර දින ව්‍යාජ අධිකරණ වාර්තාවක් පවා මාධ්‍ය මඟින් සමාජගත වූ පසුබිමක් තුළය. මෙතෙක් මාධ්‍යට නිරාවරණය නොවූ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවා මෙදින විවෘත අධිකරණයේ විභාගයට ගැනීමට තීරණය වන්නේ ද එබැවිනි. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් ගන්නා තීන්දුවකට අනුවය.
දිනේෂ් ෂාෆ්ටර් සියදිවි හානිකර ගැනීමක් බව කියන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සැඟවුණු පරස්පර කරුණු එළියට එන්නේ මෙහිදීය. දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙහිදී පෙන්වා දෙන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් විසින් දෙසැම්බර් 16 වෙනිදා ඉදිරිපත් කර ඇති කෙටි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මරණය සිදුව ඇත්තේ “තන්තුවකින් ගෙල සිර කිරීමකින් ශ්වසනය ඇණහිට“ බව සඳහන්ව ඇති බවය. පසුව මෙම මරණය සම්බන්ධයෙන් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්‍ය රුහුල් හක් ප්‍රකාශ කර ඇත්තේ “තන්තුවකින් ගෙල සිරකර ගැනීමකින් ශ්වසනය ඇන හිට මරණය සිදුව ඇති බව” යැයි ද අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
ඒ අනුව පෙනී යන්නේ අධිකරණ වෛද්‍ය රුහුල් හක් විසින් ඔහුගේ පළමු වාර්තාවෙන් දැක්වූ මරණයට හේතුව සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් උඩුයටිකුරු වී ඇති බවය.
මෙහිදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ රුහුල් හක් නමැති මෙම අධිකරණ වෛද්‍යවරයාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කිරීමේදී මරණයට හේතුව වෙනස් වන බවය. අනුජ ප්‍රේමරත්න පෙන්වා දෙන්නේ සයනයිඩ් වස කෑම සමඟ මිශ්‍ර වූ බවට මතයක් ප්‍රකාශ කර ඇති බවය.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙහිදී අධිකරණය හමුවේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් වෙනත් හේතුවක් මත ඉකුත් දෙසැම්බර් 22 වැනිදා සිට මාස 08ක කාලයක් සඳහා වෛද්‍ය සභාව විසින් වෛද්‍ය වෘත්තියේ යෙදීම තහනම් කර ඇති බවය. මෙහිදී ඒ හේතුව අධිකරණය හමුවේ අනුජ ප්‍රේමරත්න ඉදිරිපත් නොකළේය.
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය රුහුල් හක් ගැන මෙන්ම වාර්තා තුනේ ඇති පරස්පර තැන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ කිසිවකුත් නොසිතන පැත්තක් ඊළඟ නඩු දිනයේදී එළියට දැමීමට විය හැකිය. එතෙක් පැහැදිලි වන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන ඇත්තේ පරස්පරකම් ගොන්නක් බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් හැම උත්සාහයක්ම ගන්නේ දිනේෂ් ෂාෆ්ටර් සිය දිවි හානිකර ගත් බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීමටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශයේ උපපොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මෙදින අධිකරණය හමුවේ දිනේෂ් ෂාෆ්ටර් ඝාතන විමර්ශනය සිදු වූ අයුරු මෙහිදී අධිකරණය හමුවේ පෙන්වා දෙන්නට වූයේ කණ්ඩායම් 14ක් විමර්ශන කටයුතු සඳහා සම්බන්ධ වූ බව කියමිනි. දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වූ දින ඔහු කොළඹ මල්පාරේ පිහිටි නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන තෙක් මාර්ගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටින්නට වූයේ ආරක්ෂක කැමරා පද්ධති 12ක්ද එහිදී සිය නිරීක්ෂණයට ලක් වූ බව පවසමිනි.
උපපොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත පෙන්වා දෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථයේ නැඟී නිවෙසින් පිටත්ව ඇත්තේ සවස 2.00ට පමණ බවය. එම මෝටර් රථය ආරක්ෂක කැමරා දර්ශන සමීප රූප මඟින් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ යැයි ඔහු කියන්නේ මෝටර් රථයේ ඒ වන විට රැඳී සිටියේ දිනේෂ් ෂාෆ්ටර් පමණක් බවය. රියදුරු අසුනට යාබද අසුනේ සිප් පටියක් මෙන්ම කේබලයකට සමාන යමක්ද තිබෙන බව නිරීක්ෂණය වූ බවද මේ නිලධාරියා අධිකරණය හමුවේ කියන්නට විය. මෙම නිලධාරියා උත්සාහ ගත්තේ එම කේබලය දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙල සිරකර තිබුණු කේබලයට සමාන එකක් බව අධිකරණය හමුවේ පෙන්වා දීමටය. මෙහිදී මෙම නිලධාරියා අධිකරණය හමුවේ වඩාත් අවධානයට යොමු කරන්නට වූයේ වෙනත් වාහනයක් දිනේෂ් ෂාෆ්ටර්ගේ වාහනය හඹා එන බවක් ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණයේදී පෙනී නොගිය බවය.
මල්පාරේ පිහිටි නිෙවසින් සවස 2.00ට පමණ පිටත්වන දිනේෂ් ෂාෆ්ටර් කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි රොද්‍රිගු නැමැති කෙටි ආහාර අලෙවි සැලෙන් පැටිස් එකක් සහ පේස්ට්‍රියක් මිලදී ගෙන ඇති බව තහවුරුවී ඇති බව ද මනෝජ් ගයන්ත අධිකරණය මෙදින පෙන්වා දුන්නේය. මෙම කෙටි ආහාර මල්ලද රැගෙන දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු වූයේ යැයි කියන්නේ සවස 2.18ට පමණය. සුසාන භූමියේ ගුවන් හමුදා ස්මාරකය අසල දිනේෂ්ගේ මෝටර් රථය නතර කෙරුණේ යැයි කියැවෙන්නේ සවස 2.19ට පමණය. සුසාන භූමියෙන් පිටතට ඇති ආයතනයක ආරක්ෂක කැමරා දර්ශන මඟින් මේ බව තහවුරු වූ බව ද මෙම නිලධාරියා අධිකරණය හමුවේ පෙන්වා දෙන්නට වූයේ එම ආයතනයේ නම ද සඳහන් කරමිනි.
අධිකරණය හමුවේ උපපොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත පෙන්වා දෙන්නේ මෙදින ආදාහනය සඳහා දේහ 08ක් සහ භූමදානය සඳහා දේහ 06ක් රැගෙන ඒමට නියමිතව තිබුණු දිනයක් බවය. ඒ අවස්ථාවේ සුසාන භූමියේ සේවකයන් දෙදෙනෙක් සිට ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් විසින් සිය මෝටර් රථය නතර කර තිබුණු තැන සිට මීටර් 200ක් පමණ දුරකිනි. මීඩින් නිලාම් සහ ජොන් ඇන්ටනී යන දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව කියන මේ නිලධාරියා අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ දිනේෂ් ෂාෆ්ටර් රැඳී සිටි මෝටර් රථයෙන් පුද්ගලයෙක් බැස යන ආකාරයක් හෝ එම රථය දෙසට පුද්ගලයෙක් පැමිණි බවක් දැක නැති බවය.
අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරියා කුමක් කීවත් මේ එක් සේවකයෙක් මූලික විමර්ශනයේදී බොරැල්ල පොලිසිය හමුවේ පවසා තිබුණේ මෝටර් රථය අසල රැඳී සිටි පුද්ලයෙක් වේගයෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවකි. කලිසමක් හා කමීසයක් හැඳ සිටි එම පුද්ගලයාව නැවත දුටුවොත් හඳුනා ගන්නට පවා හැකි බව ඔහු පොලිසියට පමණක් නොව, තවත් බොහෝ අයට කීවේය. ඔහුගෙන් අධිකරණය මෙයට පෙර සාක්ෂියක්ද ලබා ගෙන තිබුණේය. එම සාක්ෂි මාධ්‍යට විවෘත නොවීම හේතුවෙන් ඔහු ඒ ගැන කීවේ කුමක්දැයි දන්නේ අධිකරණය සහ එම සාක්ෂිය ලබා ගන්නා අවස්ථාවේදී එහි සිටි නීතිඥවරු ඇතුළු කිහිප දෙනෙක් පමණි. කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට ද මුල් වූයේ මෙම සේවකයන් දෙදෙනා බව අමතක නොකළ යුතුය. දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියේ ගුවන් හමුදා ස්මාරකය අබියසට එන අයුරු ආරක්ෂක කැමරාවකින් දර්ශනය වූයේ නම් එම මෝටර් රථය අසල සිට යමෙක් ගිය බවක් හෝ එතැනට පැමිණි බවක් එම කැමරාවෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිරීක්ෂණය විය යුතුය. එහි එවැන්නක් සටහන් වී නොමැති නම් විද්‍යාත්මක සාක්ෂියක් ලෙස එය අධිකරණයට ඉදිරිපත් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇති හැකියාව ඕනෑ තරම්ය.
උපපොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය හමුවේ මෙදින තවත් සුවිශේෂී කාරණාවක් පෙන්වා දුන්නේය. එනම් දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙලෙහි රැඳී තිබුණු වයරය හා ඔහුගේ නිෙවසේ තිබී හමු වූ ඩිස්. ටී.වී කේබලය අතර සමාන කමක් ඇති බවය. එසේම දිනේෂ්ගේ දෑත් ගැටගසා තිබුණු සුදු පැහැති කේබල් ටයිවලට සමාන කේබල් ටයි 08ක් ද දිනේෂ්ගේ නිෙවසේ කාර්යාල කාමරයකින් හමු වී ඇති බව ද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ දෑත් ගැටගසා සහ ගෙල සිර කරගත් උපකරණ සියල්ලක්ම නිවෙසේ සිට රැගෙන ගිය බව අධිකරණයට ඒත්තු ගන්වමිනි. හැබැයි මේ කියන උපකරණ නිෙවසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණේ දිනේෂ්ගේ මරණයෙන් සතියක් හෝ ඒ ආසන්න කාලසීමාවකින් පසුවය. මේ හැම දෙයක් මඟින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන්නට උත්සාහ ගන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඔහු විසින්ම කරගත් බව තහවුරු කිරීමටය.
එය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තහවුරු කිරීමට උත්සාහ දරන්නේ දිනේෂ් ෂාෆ්ටර් මාස ගණනාවකම සිට දැඩි කලකිරීමකින් සිට ඇති බවය. කේන්ති යාම, ව්‍යාපාරික ගනුදෙනුවලට සම්බන්ධ නොවී සිටීම ආදී හෝ දේවල් ගැන මෙහිදී උපපොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය දැනුම්වත් කරන්නට ගත්තේය. ජන ශක්ති සමූහ ව්‍යාපාරයේ සේවකයන් වෙනුවෙන් කළුතර හෝටලයක පැවැති සුහද හමුවකින් අනතුරුව නොවැම්බර් 27 වෙනිදා සවස 3.05 ට පමණ සකස් කළ ලිපි කිහිපයක් ගැනද මෙහිදී උපපොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත අධිකරණය හමුවේ කරුණු දක්වන්නට වූයේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් නොවන තැනකට රැගෙන යමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙසේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් නොවන තැනකට තල්ලු කිරීමට සිය විමර්ශන දත්ත ඔස්සේ තල්ලු කරන විට ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දිගින් දිගටම අධිකරණය හමුවේ මෙදින පෙන්වා දෙන්නට වූයේ මෙම මරණය ඝාතනයක්ද සියදිවි හානි කර ගැනීමක්දැයි පැහැදිලිවම කරුණු හෙළිකර ගැනීමට හැකියාව ඇති පශ්චාත් මරණ පරීක්ෂණයේ ඇති පරස්පරකම් ගැනය.
දිනේෂ් ෂාෆ්ටර් කලකිරීමකින් සිටි බව මෙන්ම ඔහු ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ නොවී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ තහවුරු කිරීමට විවිධ තර්ක ගෙන ආවත් මරණය සිදුවූ දිනත් දිනේෂ් ෂාෆ්ටර් ඔහු අධ්‍යක්ෂ ධුර දරන සමාගම් සමඟ කළ ගනුදෙනු ගැන මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමක තොරතුරු ද අධිකරණය හමුවේ දිග හැරියේය. එසේම අනුජ ප්‍රේමරත්න මෙහිදී අධිකරණයේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂාව සහ එම ස්ථානයට ගිය අධිකරණ නිලධාරියා විසින් යොදා ඇති නිරීක්ෂණ සටහන් ගැනය.
“එම සටහන් අතර , මරණකරුගේ දකුණු කනට ඉහළින් අඟල් දෙකහමාරක ප්ලාස්ටරයක් දමා තිබූ බව, වම් ඇසට අඟල් තුන් කාලක් පමණ පහළින් රතු පැහැති සීරීම් ලකුණක් ඇති බව, දකුණු ඇසට පහළින් මිලි මීටර් 02ක තුවාල ලකුණක් ලෙස සිතිය හැකි කුඩා සීරීම් ලකුණක් ඇති බව, බෙල්ල වටේට රත් පැහැ ගැන්වී තිබීම, දෙඅතේම මාපට ඇඟිලි දෙකේ ඉහළ සිට පළමු පුරුක ඇතුළු පැත්ත දම් පැහැ ගැන්වී ඇති බව, දේහයේ යටි කය පහළින් උදරය මැද සිට වම්පසට වන්නට අඟල් හතරක පමණ ප්‍රමාණයක් රත්පැහැ ගැන්වී තිබීම, උදරයේ මැද සිට දකුණු කකුලේ වළලුකරට අඟල් හයක් ඉහළින් කකුලේ ඉදිරිපස අඟලක් පමණ රත්පැහැ ගැන්වූ තුවාලයක් තිබීම ආදිය තිබුණා. විමර්ශන නිලධාරීන්ගේ සාක්ෂියෙන් නම් මේ දේවල් ගැන කියැවුණේ නැහැ. “ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න එම කරුණු අධිකරණයේ විශේෂ අවධානයකට යොමු කරනු ලබන්නේ මෙසේය. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක්ද? සියදිවි හානිකර ගැනීමක්ද? යන්න ගැන පැහැදිලි නිගමනයකට එළඹීමට හැකියාව ලැබී ඇත්තේ මේ කරුණු ගැනද විශේෂ අවධානයක් යොමු කිරීමෙන් බවය. එපමණක් නොව, අනුජ ප්‍රේමරත්න සයනයිඩ් කතාවද කුඩු පට්ටම් කරන්නේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ද සමඟිනි. ඒ අධිකරණයට පවා දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගැන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී ඒ ගැනත් හිතා බැලීමට අවධානය යොමු කරමිනි.
ගයාන් කුමාර වීරසිංහ
-mawratanews
No comments: