Header Ads

Breaking News
recent

ලොහාන් ගේ දෙවැනි බිරිය සතු වාහනයේ ලියාපදිංචි අංකය පළමු බිරියගේ... විමර්ශන පඹගාලක පැටලෙයි!

නුගේගොඩ මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය ඊයේ (7) නියෝග කළේ මෙරටදී එකලස් කරන ලද මෝටර් රථයක් ළඟ තබාගැනීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිය වන රෂි ප්‍රභා ගුණවර්ධන යන දෙදෙනා ලබන 18 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලය සිදු කළ ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටත්, අධිකරණයට යොමු කළ වීඩියෝ සාක්ෂි රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටත් මෙහිදී වැඩිදුරටත් නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා මෙසේ කරුණු දැක්වීය,

“සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රශ්නගත වාහනය අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ දෙවැනි බිරියට අයත් මිරිහානේ පිහිටි නිවෙසක තිබියදී. ඒ වාහන ගාල් කර තිබෙන ආකාරය සඳහන් ඡායාරූප කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ නිවෙස ඇයට අයත් බවට වන ග්‍රාම නිලධාරිගේ ප්‍රකාශ පවා ගෙන තිබෙනවා. ඔහුගේ පළමු බිරියට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී භාවිත කර ඇති බව විමර්ශන අනාවරණය කර තිබෙනවා. ඒ බවට වන වීඩියෝ සාක්ෂි තහවුරු කරමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම වාහනය සැකකාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් එක් අවස්ථාවක මානව හිමිකම් කොමිසම වෙත ගොස් එහිදී මාධ්‍යයට ප්‍රකාශයක් පවා දී තිබෙනවා.”

ඊට අදාළ වීඩියෝව මහේස්ත්‍රත්වරිය හමුවේ වාදනය කර බලන ලෙස රුවන් ගුණසේකර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ වීඩියෝව අධිකරණය හමුවේ වාදනය කරනු ලැබූ අතර, ඉන් අනතුරුව නැවත කරුණු දක්වමින් නීතිඥ රුවන් ගුණසේකර මහතා:

“එමෙන්ම වාහනය අවස්ථා දෙකකදී සර්විස් කිරීම සඳහා අදාළ සමාගමට යොමු කර තිබෙනවා. ඊට අදාළ ටැග් එක වාහනයේ තිබී හමු වුණා. කටුගස්තොට ඔටෝ මිරාජ් ආයතනයෙන් අදාළ සේවා ලබාදී තිබෙන්නේ. ඊට අදාළ එම ආයතනවලින් ගත් ඉන්වොයිස් පත් අධිකරණයට ඉදිරිපත් කරනවා.”

ප්‍රශ්නගත වාහනය සැකකරුගේ දෙවැනි බිරිය වන ශෂී ප්‍රභා ගුණවර්ධන මහත්මියට අයත් මිරිහාන නිවෙසේ ගාල් කර තිබූ බවත්, ඒ නිවෙස ස්වයංක්‍රීය ගේට්ටු සවි කර ඇති, සැකකරුවන් දෙදෙනාට පමණක් ප්‍රවිෂ්ට විය හැකි ස්ථානයක් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. ප්‍රශ්නගත වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ අංක තහඩුවක් නොතිබූ බවද එම වාහනයෙ ඡායාරූප හතරක් අධිකරණ හමුවට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේය. 2021 ඔක්තෝබර් මස 7 දා සැකකරු අදාළ වාහනයෙන් මානව හිමිකම් කොමිසමට යෑමේ වීඩියෝව මහේස්ත්‍රත්වරිය වාදනය කර බැලුවාය.

“පොලිස් භාරයට ගත් අංක KY 6764 වාහනය සැකකාර රත්වත්තේ මහතාගේ පළමු බිරිය වන නිරූපා ඩයස් යන අයට අයත් වූවක්. එය ටොයොටා ඇක්වා වාහනයක් වන අතර, ඒ වාහනයේ අංකය යොදා ප්‍රශ්නගත ටොයොටා ලෙක්සස් වාහනයට සවි කර ධාවනයට එක් කර තිබෙනවා. ප්‍රශ්නගත වාහනය අවස්ථා දෙකකදී නුවර කටුගස්තොට ටොයොටා ලංකා සමාගමට ගොස් 2020 වසරේ අගෝස්තු මස 8 සහ 17 දෙදින සේවා කටයුතු සිදු කර තිබෙනවා. ඊට අදාළ ඉන්වොයිස් පත්‍ර පොලිස් භාරයට ගනු ලැබුවා. මේ කටයුතු සිදු කර තිබෙන්නේ පළමු බිරියට අයත් KY ටොයොටා ඇක්වා වාහන අංකය යටතේ. ප්‍රශ්නගත වාහනයේ චැසි අංකයත් ව්‍යාජ ලෙස ප්‍රශ්නගත වාහනයට කොටා තිබෙනවා. චැසි අංකය භාවිත කර තිබෙන්නේ පළමු බිරියට අයත් වාහනේ චැසි අංකයයි. රජයේ රස පරීක්ෂකවරයා විසින් ප්‍රශ්නගත වාහනයේ නියම චැසි අංකය සොයාගෙන තිබෙනවා. ඉන්වොයිස් පත් දෙකට අනුව චැසි අංකය සඳහන් වන්නේ 1009710 අංකයයි. එය ප්‍රශ්නග ලෙක්සස් වාහනයේ චැසියේ ව්‍යාජ ලෙස කොටා තිබෙනවා. ෆිල්ටරය මාරු කිරීමට පවා පළමු බිරියගේ නමට ඇති වාහනයේ අංකය යොදාගෙන තිබෙන බව විමර්ශන අනාවරණය කර තිබෙනවා.”

මහේස්ත්‍රාත්වරිය: “මේ වාහනය වසර කීයක් භාවිත කර තිබෙනවාද?”

නීතිඥ රුවන් ගුණසේකර මහතා: “2020 වසරේ සිට භාවිතා කර තිබෙනවා. මීට අදාළව එම වාහනය භාවිත කළ රියැදුරු සුමිත් ජයරත්තගෙන් ප්‍රකාශ ගෙන තිබෙනවා. වාහනයෙ අංක තහඩුව, චැසි අංකය ව්‍යාජ ඒවා භාවිත කර තිබෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැහැ. රේගුවේ ලියාපදිංචි කර නැහැ. සැකකරුවන්ට එරෙහිව රේගු ආඥා පනත, මුදල් විශුද්ධිකරණ පනත සහ මෝටර් රථ ආඥා පනත අදාළ වන බැවින් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම ප්‍රශ්නගත වාහනයේ වටිනාකම රුපියල් මිලියන 33කට අධිකයි. එවැනි වටිනාකමක් ඇති භාණ්ඩයක් රේගු ආඥා පනත යටතේ ගැනෙන වරදකට රුපියල් මිලියනයට අධික වටිනාකමින් යුතු වන්නේ නම් ඊට ඇප ලබාගත හැකි වන්නේ මහාධිකරණයෙන්.”

මේ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි රේගුවේ නීති අධ්‍යක්ෂවරයාද අධිකරණයට කරුණු දැක්වීය:

“මේ වාහනය රේගුවෙන් නිෂ්කාශනය කළ බවට රේගු දත්ත පද්ධතියේ තොරතුරු සඳහන් වන්නේ නැහැ. එමෙන්ම රථ ගබඩාවේ දත්ත පද්ධතියේද තොරතුරු නැහැ. නීත්‍යනුකූල ආනයනයක් බව තහවුරු වන්නේ නැහැ. විමර්ශන අවසන් වී වාහනය රේගුවට භාර දුන් විගස රේගු පරීක්ෂණ ආරම්භ කරනවා.”

පළමු සැකකාර රොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෙසේ කරුණු දැක්වීය:

“මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ ගැනෙන වරදක් නම් ලියාපදිංචි නොකළ වාහනයක් සඳහා දඩය අවමය රු. 2500යි; උපරිමය රු. 7500යි.

සාවද්‍ය ලේඛන ඉදිරිපත් කර ඇත් නම් දඩය අවමය රු. 50,000යි; උපරිමය රු. 100,000යි, මාසයක් සිර දඬුවමක්. මෝටර් රථ ආඥා පනත යටතේ උපරිම දඩය රු. 115,000යි.

“මෙය දේශපාලන මැදිහත් වීමක්, සොරකම් කරන ලද වාහනයක් නම් ඔප්පු කිරීමේ භාරයට යටත්ව විමර්ශන කළ යුතුයි. ලියනආරච්චි එදිරිව හුන්නස්ගිරිස ස්ථානාධිපති නඩු තීන්දුව -1985 දක්වා සිටිනවා. සොරකම් කළ වාහනයක් බවට සාක්ෂි නැහැ. පොලීසිය ප්‍රශ්නගත වාහනය හෝ සැකකරු අත්අඩංගුවට ගත් වහාම ශ්‍රී ලංකා රේගුව වෙත විමර්ශන සඳහා භාර දිය යුතුයි. එය නොසලකා හැර ඔවුන් කටයුතු කර තිබෙනවා. හිසද වලිගයද යන්න විමර්ශන සඳහා අදාළ වන්නේ නැහැ.

“යම් විමර්ශනයක් ආරම්භ කිරීමට පෙර පැමිණිලිකරුගෙන් ප්‍රකාශ ගත යුතු වුවද එය කරලාත් නැහැ. නීති විරෝධි ක්‍රියාකාරකම්වලට අනුව චෝදනා පවරා පවත්වාගෙන යෑමට බැහැ . මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ, රේගු අඥා පනත යටතේ ගැනෙන වැරදි මගේ සේවා දායකයා සිදු කර නැහැ. මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ සිදු කර ඇති වැරදිවලට දඩ නියම කළ හැකියි. මොහුට නීතිය සමාන වී නැහැ. ෆාරුක් එරෙහිව රේමන්ඩ් ඇතුළු තවත් අය නඩු තීන්දුව සහ ප්‍රසිද්ධ නඩු තීන්දුවක් වන ශානි අබේසේකර නඩු තීන්දු අධිකරණය සැලකිල්ලට යොමු කරනවා. මූලික විමර්ශන අවසන් බව පොලීසිය පැවසුවා. විමර්ශනවලට බාධා කරන බවට ප්‍රකාශ වූයේ නැහැ. අනුරුද්ධ රත්වත්තේ නඩුවේ ඇප දීම රීතියක්, ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේඛයක් බව පැහැදිලිව දක්වා තිබෙනවා. ඇප නොදීමේ පරමාර්ථයෙන්ම දඬුවම් ලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම සුදුසුයි. ඔහු බරපතළ රෝගි තත්ත්වයකින් පෙළෙනවා. Cronic liver decease රෝග තතත්වයෙන් ඔහු පීඩා විඳිනවා. එකී කරුණුත් සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා. සාමාන්‍ය සිරිපාල කෙනෙක් වුණා නම් මෙවැනි සිද්ධියකට දඩයක් ගෙවා යා හැකියි. සැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ අනුව සුදුසු ඕනෑම කොන්දේසියක් යටතේ මගේ සේවා දායකයා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.”

දෙවැනි සැකකාරිය වන ශෂි ප්‍රභා ගුණවර්ධන වෙනුවෙන් නීතිඥ විදුර මංචනායක මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ කියා සිටියහ:

“ප්‍රශ්නගත වාහනය මගේ සේවාදායිකාවගේ නිවෙසේ තිබියදී සොයාගෙන තිබෙනවා. අපට සිදු කළ නොතීසියයට අනුව අප අධිකරණයට හමුවේ පෙනී සිටියා. එහිදී මගේ සේවාදායිකාව බන්ධනාගාරගත කරනු ලැබුවා. නීත්‍යනුකූල නොවන අයුරින් මගේ සේවාදායිකාවගේ ජංගම ගිණුමේ වට්ස්ඇප් අංකයට ලැබුණු නොතීසියකට අනුවයි අප අධිකරණයට පැමිණියේ. අධිකරණය කෙරෙහි අපේ දැඩි විශ්වාසයක් තිබුණා. පළමු සැකකරු සේවාදායිකාවගේ විවාහක ස්වාමිපුරුෂයා. ඔවුන් විවාහ වී වසර එකහමාරක් පමණ ගත වෙනවා. මේ සිද්ධිය සිදුව තිබෙන්නේ ඔවුන්ගේ විවාහයටත් පෙරයි. ප්‍රශ්නගත වාහනයට සේවාදායිකාවගේ කිසිදු සම්බන්ධයක් නැහැ. ඇයට තිබෙන්නේ විවාහක අයිතිය පමණයි. ඔහු ස්වාමියා ලෙස පිළිගැනීම පමණයි ඇය වරදක් ලෙස සිදු කර තිබෙන්නේ. ඒ අනුව සුදුසු ඕනෑම ඇපයක් මත ඇය මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.”

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, සැකකරුවන් දෙදෙනා තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය. එසේම විමර්ශන ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියෝග කළාය.

No comments:

Powered by Blogger.