ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කිරිමට රවිගෙන් පනත් කෙටුම්පතක්
ඔන්ලයින් ආරක්ෂණ පනත (Online safety Act) අහෝසි කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් පෞද්ගලික මංත්‍රී පනත් කෙටුම්පතක් ඊයේ (28) පාර්ලිමේන්තු මහලේකම් වෙත භාර දී තිබේ. පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කල ඔන්ලයින් ආරක්ෂණ පනත අහෝසි කරන බවට වත්මන් ආණ්ඩුව විසින් දැනටමත් ප්‍රකාශ කර තිබුණ ද ඒ සදහා ක්‍රියාත්මක වැඩ පිලිවෙලක් මෙතෙක් නීරීක්ෂණය වී නොමැති නිසා, තමා විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල බව රවී කරුණානායක ප්‍රකාශ කලේය.
මේ තුලින් සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස නැවත ඇති කිරිමට අපේක්ෂා කරන බවත් ඒ සදහා ආන්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද සහය ලැබෙනු ඇතැයි තාමට විශ්වාස බවත් ඔහු ප්‍රකාශ කලේය.
මෙම පනත් කෙටුම්පත සකස් කිරිම සඳහා Institute of Politics (IOP) ආයතනයෙන් තාක්ෂණික සහය ලැබී ඇතැයි ද වාර්තාවේ.
ඔන්ලයින් ආරක්ෂණ පනතට කරන්න යන දේ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
පසුගිය රජය සමයේ සම්මත කළ දැඩි මතභේදයට තුඩු දුන්, 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත'ට නව සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණ.
නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම කරනු ලැබුවේ, අදාළ පනත සම්මත කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් 2025 පෙබරවාරි 05 කැඳවූ අවස්ථාවේදී ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න විසින් මෙම දැනුම්දීම කරන ලදී.
පෙත්සම්වල පසුබිම කුමක් ද?
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත 2024 පෙබරවාරි 01 වන දා සිට බලාත්මක වූයේ එම පනත් කෙටුම්පතට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය අත්සන යොදා සහතිකය සටහන් කිරීමත් සමග ය.
ඒ සමග 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස මෙය බලාත්මක විය.
මෙම පනත් කෙටුම්පත පසුගිය 2024 ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාමූහික ප්‍රයත්නයක් ලෙස, ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විවෘත ලිපියක් යොමු කළහ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අකුරට ම පිළිපදින තුරු ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් වළකින ලෙස එම ලිපිය යොමු කරමින් ඔවුන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඊට අමතරව දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ද මෙම කෙටුම්පතට අත්සන් කිරීමෙන් වළකින ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ලදී.
එවකට කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත බලාත්මක කරමින් සිය සහතිකය යොදනු ලැබුවේ, එවැනි ඉල්ලීම් රැසක් මධ්‍යයේ ය.
-theleader
No comments: