Header Ads

Breaking News
recent

සිවිල් ඇඳගත් පිරිසක් කතරගම නිලමේගේ ගෙදර දේශබන්දු සොයලා!

අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග ලබා දී තිබෙන සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පෙරේදා (09) රාත්‍රියේ කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතාගේ මාතර පාලටුවේ පිහිටි නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

නිවස පරීක්ෂා කිරීමේ නීත්‍යනුකූල බලපත්‍රයක් ද රහිතව සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගල කණ්ඩායමක් රහස් පොලිසියෙන් බව පවසා තම නිවස පරීක්ෂා කිරීමට උත්සාහ ගත් බවත්, මෙම පිරිස තම නිවසට අයත් පොලිස් බල ප්‍රදේශය වන මාලිම්බඩ පොලිස් ස්ථානය හෝ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය හෝ දැනුවත් කර නොතිබුණු බවත් කතරගම බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

එමෙන්ම නිවස පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම නිවසට පැමිණෙන විට එහි 84 හැවිරිදි තම වයෝවෘද්ධ මවත්, ඇය බලාගන්නා කාන්තාවන් දෙදෙනාත් නිවසේ සිටි බවද ඔහු හෙළිකර ඇත.

පොලිස්පතිවරයා විසින් සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් පුද්ගල පරීක්ෂාවන් සිදු නොකළ යුතු බවට චක්‍රලේඛන උපදෙස් ලබාදී තිබියදී එලෙස සිදු කිරීම කනගාටුදායක බවද බස්නායක නිලමේවරයා පවසා ඇත.

නිවස පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ තමා කොළඹ සිටි බැවින් ඒ පිළිබඳ දැනගත් වහාම තමා මාලිම්බඩ පොලිස් ස්ථානයටත්, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් ඒ පිළිබඳ දැනුම් දුන් බවද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණෙන බවට දැනුවත් කර නොමැති බැවින් වහා තම මවගේ හා නිවසට ආරක්ෂාව ලබා දීමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් ජීප් රථයකින් නිලධාරි කණ්ඩායමක් ඒ මොහොතේ තම නිවෙස වෙත යවා තිබූ බවත් හෙතෙම සඳහන් කර ඇත.

මූලාශ්‍රය – අරුණ


No comments:

Powered by Blogger.