Header Ads

Breaking News
recent

රට ගොඩගත හැකි අනාගත නායකයාගේ හැඩරුව ගැන තරුණ බෞද්ධ සංගමය කියයි

නිකුත් ජාතීන් පාලනය කරගෙන සිටිය හැකි නායකයෙකු අප විසින් පත්කර ගතයුතු යැයි මෙරට බහුතර ජනතාව කල්පනා කරන්නේ නම් එයින්ද තමන්ට වාසිදායක ලෙස කටයුතු කරන නායකයෙකු අප විසින් පත්කර ගත යුතුයැයි මෙරට අනිකුත් ජාතීන් කල්පනා කරන්නේ නම් එයින්ද රට ආපස්සට හැරවිය නොහැකි මහා අගාධයකට තල්ලුවී යන්නේ යැයි මෙරට විශාලතම සහ පැරණිතම බෞද්ධ සංගමය වන කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා අම්පාරේදී ජනතාව අමතමින් අවධාරණය කළේය.
රටට ආදරය කරන සියළු ජනතාවට අයත් මධ්‍යස්ථ මතධාරීන් මෙම අන්තයන් දෙක මනාව අවබෝධ කරගත යුතු බවත් ඉදිරියේදී මෙම අන්තයන් දෙකම පරාජය කිරීමට නොහැකි වුවහොත් ලෝකයේ අති රමණීය පුණ්‍ය භූමියක ඉරණම ‍ෙඛ්දාන්තයක්වීම වැලැක්විය නොහැකිවනු ඇති බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා අම්පාර නගර ශාලාවේ පැවති “එක හඬක්-සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගයේ රැස්වීම අමතමින්  සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“මේ රටේ බහුතර ජනතාව සිතනවා නම් අපට අවශ්‍ය අනිකුත් ජාතීන් පාලනය කරගෙන ඉන්න පුළුවන් නායකයෙක් කියල ඒක වැරදි සිතුවිල්ලක්. එයින් වෙන්නේ රට තව තවත් අගාධයට යන එක. ඒ වගේම මේ රටේ අනිකුත් ජන කොටස් සිතනවා නම් රටට අවශ්‍ය ඒ අයට හොඳට සලකන ඒ අයට වාසිදායක විදිහට හැසිරෙන නායකයෙක් කියල ඒකත් වැරදි සිතුවිල්ලක්. මේ ක්‍රම දෙකෙන්ම වෙන්නේ ජාතිවාදය ඇවිලෙන එක. රටට අවශ්‍ය සියලු ජන කොටස් තමාගේ දරුවන් ලෙස සලකන, සාධාරණ විදිහට සිතන, වංචාවට දූෂණයට එරෙහි වන, රටේ ආර්ථික ප්‍රතිපත්ති නිසි ආකාරව හැසිරවිය හැකි නායකයෙක්.“

“බහුතර බෞද්ධ ජනතාව විදිහට අපි ඉදිරියට ඇවිල්ලා පැහැදිලිව කියනවා මේ රට පාලනය කරන, ජනතාව නියෝජනය කරන පාලකයින් මේ රට නිසි ආකාරව පාලනය කරන්නෙ නෑ කියල. ඒ වගේම, අනිකුත් ජන කොටස් වලටත් හැකියාව තිබිය යුතුයි, ඔවුන්ගේ බහුතර දේශපාලන නායකයින් ජාතිවාදය අවුලුවනවා කියන්න. ඔවුන් අනිකුත් ජාතීන් සමග තිබෙන සහජීවනය කඩා බිඳ දානවා කියල කියන්න. මේ නිසා තමයි මෙරට ජනතාව අතර අවිශ්වාසය වර්ධනය වෙන්නේ. මේ කරුණු අපි තේරුම් ගත්තොත් විතරයි අපේ රටට, අපේ දරුවන්ට අනාගතයක් තිබෙන්නේ.“

මුස්ලිම් ජනතාව අනිකුත් ජාතීන් අභිබවා ජනගහනය වර්ධනය කරමින් ආක්‍රමණශීලී මානසික තත්ත්වයකින් කටයුතු කරනවා යැයි සැකයක් අනිකුත් ජනතාව තුළ තිබෙන බවත් එම සැකය දුරු කිරීම ඔවුන්ගේ නායකයින්ගේ වගකීමක් බවත් ජයසේකර මහතා මෙහිදී සඳහන් කළේය. එසේම, මෙරට බදු, තීරු බදු සහ ආර්ථික ප්‍රතිපත්ති දේශීය නිෂ්පාදන සහ දේශීය ගොවියා නගා සිටුවන පරිදි සකස් විය යුතු බවත් පවතින තත්ත්වයෙන් රට ඉදිරියට ගෙන යාමට නොහැකි යැයි බළධාරීන්ට බලකිරීමට පෙරට පැමිණිය යුතු බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී අවධාරණය කළේය.

අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ජාතීන් අතර සැකය වැඩිවන ලෙස කටයුතු කර තිබෙන බවටත් රැකියා බෙදාදී ඇති ආකාරය අනුව එම සැකය වැඩිවන බවටත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ යැයි මෙහිදී පෙන්වා දුන් ජයසේකර මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් රජයේ අවධානය අනිවාර්යෙන්ම යොමුවිය යුතු බවයි.

මෙම රැස්වීම අමතා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ භාණ්ඩාගාරික ප්‍රසන්න අබේකෝන් මහතාද අදහස් දැක්වීය.

– කොළඹ තරුණ බෞද්ධ සංගමය


No comments:

Powered by Blogger.