Header Ads

Breaking News
recent

පාස්කු ප්‍රහාරය වැළැක්වීමේ ප්‍රධානම වගකීම ප්‍රකාශ කරයි..!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයට (SඓS) ප්‍රධාන වගකීම පැවරී තිබුණු බව එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඊයේ (23දා) දින පැවසීය.

මීට අමතරව නීතිය හා සාමය අමාත්‍යධූරය දැරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් හට මෙහි වගකීම පැවරෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අන්තවාදී ප්‍රකාශ සිදුකරමින් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය පසුබිම සකස්කර තිබුණු බවද හෙතෙම කීය.

ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ත්‍රස්ත කටයුත්තක නියැලෙන බවට තොරතුරු ලැබීමෙන් පසුව 2018 අප්‍රේල් මාසයේ සිට ඒ පිළිබඳව සොයාබැලීමේ වගකීම රාජ්‍ය බුද්ධි සේවයට පවරා තිබුණ බවද සභාපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි අංශය වගකීම නිසිපරිදි ඉටුකර නොමැති බවත්, එම අංශයේ රාජකාරිය නියමිත පරිදි ඉටුකලේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනෙකුත් ආයතන දැනුම්වත් වීමට තිබුණු බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.

විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ආනන්ද කුමාරසිරි මහතා මේ බව කීය.

රාජ්‍ය බුද්ධි අංශය විසින් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන පමණක් දැනුම්වත් කර තිබෙන බවත්, නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් දැනුම්වත් කර නොමැති බවත්, නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව දේවස්ථාන හා කාදිනල්වරයා දැනුම්වත් කිරීමේ වගකීම තිබුණු බවත්, එසේ වූයේනම් හානිය අවම කරගැනීමට ඉඩ තිබුණු බවත්, ඒ මහතා ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.