Header Ads

Breaking News
recent

කරූ ජයසූරිය කතානායක ධුරයට සමුදෙන්න සැරසේ.. අලුත් කතානායකගෙන් ඉල්ලීමක් කරයි

2015 සැප්තැම්බර් මස ආරම්භ වුණු ශ්‍රි ලංකාවේ 08 වන පාර්ලිමේන්තුව වන වර්තමාන පාර්ලිමේන්තුව ගෙවී ගිය කාලය තුළ ඉටුකළ සේවය ගැන සතුටු විය හැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට විශාල වැඩ කොටසක් එතුළින් ඉටුව ඇති බව ලෝකයේ පිළිගැනීම බවත්, කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.


පාර්ලි‍මේන්තුවේ කමිටු ක්‍රියාවලිය ශක්තිමත් කිරිම, අන්තර් පාර්ලිමේන්තු සබඳතා ගොඩනැගීම, ස්වාධින කොමිසම් සභා ක්‍රියාවලිය බල ගැන්වීම, තොරතුරු ‍දැනගැනීමේ පනත වැනි සිවිල් අයිතිවාසිකම් ශක්තිමත් කරන වැදගත් අණ පනත් සම්මත කිරිම, පාර්ලිමේන්තු කමිටු ක්‍රියාවලිය මෙන්ම ජාතික සමඟිය හා සංහිඳියාව වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පිහිටවීම, පාර්ලිමේන්තුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කිරිම ආදිය ලෝක අවධානය දිනාගත් වැදගත් සංධිස්ථානයන් බවද කථානායකවරයා සඳහන් කළේය.

කථානායක කරු ජයසුරිය මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ දරුවන් වෙනුවෙන් නව වසරට පාසල් උපකරණ සහ අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැරමීම සඳහා 2019.12.30 දින පාර්ලිමේන්තුවේ පැවති විශේෂ උත්සවය අමතමිනි.

නිදහස ලබන විට ලොව ශක්තිමත් ආර්ථිකයක් හිමිව සිටි ශ්‍රි ලංකාව වර්තමානයේදී පත්ව ඇති තත්වය පිළිබඳව සතුටු විය නොහැකි බව පෙන්වා දුන් කරු ජයසුරිය මහතා සඳහන් ‍කළේ එයට ප්‍රධානත ම හේතුවක් වුයේ ජාති, ආගම් වශයෙන් ඇති වු අසමඟිය බවයි.

වර්තමානයේ ලොව ජය කෙහෙළි නංවන අපේ විශිෂ්ඨ දරුවන් එම අතීත ශ්‍රි විභුතිය නැවන ගොඩ නගනු ඇතැ’යි බලාපොරොත්තු තැබිය හැකි බව කථානායකවරයා මෙහිදී පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා පැවසුයේ “මෙතැන් සිට අප බිහිකළ යුත්තේ ශ්‍රි ලාංකික දරුවන් පමණක් නොව ලෝක දරුවන් බවයි. ලෝකය ඉදිරියේ අපරාජිතව සිටිය හැකි විශිෂ්ඨයන් අප සතුව සිටින බව මෑතකදී ලෝක අවධානය දීනාගත් නිර්මාණ බිහි කළ තරුණ දරුවන් ඔප්පු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.”

ස්වකීය කථානායක ධුර කාලයට සමුදෙන විට රාජකාරියෙන් ඔබ්බට ගොස් ඉටු කිරිමට හැකි වු සුවිශේෂි කටයුත්තක් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කිරිමට හැකි වීම ගැන සිහිකළ හැකි බවද කරු ජයසුරිය මහතා පැවසීය.

මෙහීදි පාර්ලිමේන්තු සුභ සාධක සංගමයෙන් කථානායකවරයා වෙත විශේෂ ස්තුතියක් පිරිනැමුණේ සිය දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමුකර විශාල විදේශ ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පවා ලබාදීමට කටයුතු කිරිම පිළිබඳවයි.

– කතානායක මාධ්‍ය අංශය


No comments:

Powered by Blogger.