Header Ads

Breaking News
recent

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට ඇප



 ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියම කළේ.

සැකකාරියගේ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටත් සැකකාරිය ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සදහන් කළා.

එමෙන්ම තමන් පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතු යැයි සැකකාරියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය පදිංචියේ වෙනසක් සිදුවෙන්න නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවටත් ඇප නියෝගයේ සඳහන්.

එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කෙරෙන අතර ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් වෙනත් අන්‍ය නීතියක් යටතේ ඇය විසින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට නියෝගයේ වැඩිදුරටත් සඳහන් කෙරුණා.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම සැකකාරිය, ඇයගේ සැමියාගේ සහ ඇයගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳව දත්ත වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ.

ඒ අනුව රහස් පොලිසිය විසින් ඉල්ලා සිටින අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පෞද්ගලික දුරකතන සමාගමකට නියෝග කළා.

මීට අමතරව පොලිස් විමර්ශන වලට අවශ්‍ය කරන දැනට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයක් ද විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය වෙත භාරදීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පොරොන්දු වුණි.

No comments:

Powered by Blogger.