Header Ads

Breaking News
recent

මහත්ත්යට ඕන වුණා මගේ හිස මුඩු කරන්න - කැතද, මහතද, උසද, කියන ඔය එක වැදගත් වෙන්නේ නෑ - සිය සැමියා කරපු වැෙඩ් ගැන දුලීකා කරන අලුත්ම හෙළිදරව්ව [VIDEO]

සුජීවට ඕන වුණා මගේ හිස මුඩු කරන්න.
සල්ලි වෙනුවෙන් අම්මා, අප්පා, දරුවා පවා පාවා දෙනවා
ශරීරයේ ප්‍රමාණය කොච්චර වුණත් කළුද? 
කැතද, මහතද, උසද, කියන ඔය එක කාරණාවක්වත් වැදගත් වෙන්නේ නෑ.

ඔබේ සැමියාගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ‘සුපර්ණා’. සුපර්ණා එක්ක ඔබේ ගනුදෙනුව පටන් ගන්නේ කොහොමද කියලා මුලින්ම කියමු?

සුපර්ණා චිත්‍රපටයට මගේ ගනුදෙනුව ගොඩනැඟෙන්නේ රංගන ශිල්පිනියක් විධියට සහ රේඛීය නිෂ්පාදිකාවක් විධියට. මගේ සැමියා සුජීව ප්‍රියලාල් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මෙහි නිෂ්පාදිකාව ලෙස කටයුතු කරන්නේ කල්‍යාණි රණවක මහත්මිය.

එතුමියගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනය මෙය. ඇයට අවශ්‍ය නම් වෙන චිත්‍රපටයක් කරන්න තිබ්බා. නමුත් මේ චිත්‍රපටයේ තිබුණු ජාතික අවශ්‍යතාව එක්ක රට ආරක්ෂා කර ගැනීම උදෙසාම තමයි එතුමිය මෙවැනි සිනමා නිෂ්පාදනයකට දායක වෙන්නේ. 


‘සුපර්ණා’ ගොඩනැඟෙන්න ඔබත් ලොකු දායකත්වයක් සුජීවට ලබාදෙන්න ඇති?

සුජීවගෙත්, මගෙත් බොහෝ කාලයක සිට කතාබහක් තිබුණා පරිසරය විනාශ වීම ගැන. මම ගමක හැදුණු කෙනෙක්. සුජීව කොළඹ. හොඳ පරිසරයක් මට අයිති වෙලා තිබුණා. මම දැකපු සුන්දර පරිසරය දැන් දරුවන්ට විඳින්න තිබෙනවාද? ඒ සුන්දර පරිසරය දරුවන්ට නැති කළේ වැඩිහිටි පරම්පරාවම තමයි. වැඩිහිටියෙක් වෙන සෑම මනුෂ්‍යයෙක්ම මෙයට වගකියන්න ඕන. වස විසෙන් තොරව කුඹුරු කරන්නේ කොහොමද, රසායනික ද්‍රව්‍යවලින් තොරව හාල් ටිකක්, බත් ටිකක් කන්නේ කොහොමද කියලා අපි හිතනවා. මේ වෙනකොට ලංකාව පුරාම සුන්දර පරිසරය විනාශ වෙමින් පවතිනවා. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා. කිසිම හේතුවක් නැතිව ගස් කපනවා. ගිනි තියනවා. සතා සිවුපාවන් මරලා දමනවා. සියල්ල මුදලට තක්සේරු වෙලා තියෙන්නේ. අපි ගම් මට්ටමින් මේ තිබෙන ඛේදවාචකය ගැන කතා කළා. කාබනික ගොවිතැන ආරම්භ කරන්නේ කොහොමද? වස විසෙන් තොර ආහාර රටාවකට හුරු වෙන්නේ කොහොමද? නිරෝගී ජාතියක් මේ රට ඇතුළේ නැවත ගොඩනඟන්නේ කොහොමද කියලා මම ගම් මට්ටමින් ගිහින් කතා කළා. අවසානයේ අපි තීරණය කළා හොඳම දේ තමයි රටටම ආමන්ත්‍රණය කරන්න පුළුවන් සිනමා නිර්මාණයක් කරමු කියලා. ඒක ඉතාම යහපත් දෙයක්. මේ සිනමා නිර්මාණය වාණිජ පැත්තෙන් ගත්තත් සාර්ථක වෙනවා. මොකද මේ කතා කරන දේ අද දවසෙ අත්‍යවශ්‍ය වන, මේ මොහොතේ කතා කළයුතු දෙයක්. 

සැමියාගේ නිර්මාණය නිසාම ඔබව මෙයට සම්බන්ධ කරගත්තද? නැතිනම් ඒ චරිතයට ඔබවම අවශ්‍ය වී තිබුණාද?

සුජීවට එය මාත් එක්ක කරන එක පහසු වුණා. මොකද මම නිරන්තරවම ඒ කතා කරන ආකල්පයන්හි හිටපු නිසා. මේ චිත්‍රපටයට සුන්දර ගැහැනු ළමයෙක් ගෙනාවා නම් එයාට ඒ චරිතය සහ අතීතය, පරිසරය, ගම, ගහකොළ ගැන අලුතින් පුහුණුවක් දෙන්න වෙනවා. වර්තමානයේ බොහෝ අය මතුපිටින් ජීවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. මාත් එක්ක වැඩ කරන පහසුව සුජීවට තිබ්බා. ඒ වගේම සුජීව මුල ඉඳලම කිව්වේ, මම ඒ චරිතය කරන්න අවශ්‍යයි කියලා. ඒක මේ පිටපත ලියනකොටම එයාගේ ඔළුවට ආපු දෙයක් වෙන්න ඇති. ඒ නිසා ඒ චරිතය මම කළ යුතුයි කියලා බල කිරීමක් මට කළා. ඒක මම කළා. ඒ නැතත් චිත්‍රපටයේ කළමනාකරණ කටයුතු කරන්න භාරවෙලා තිබ්බේ මට. මම හිතන්නේ ඒ දෙකම මට සාර්ථකව කරගන්න පුළුවන් වුණා. 

ඔබ මෙතෙක් කළ චරිත නිරූපණයන්ට සාපේක්ෂව මෙය විශාල වෙනසකට ඔබව කැන්දනවා නේද?

සුපර්ණා කියන චරිතය වෙනස් විධියක චරිතයක්. මම මෙතෙක් කළාට වඩා වෙනස්ම විධියක රංගනයක යෙදෙන්න මට මේ චරිතය හරහා පුළුවන් වුණා. මගේ අලුත් රංගනයක් මේ නිර්මාණය තුළින් දකින්න පුළුවන්. සිනමා ශාලාවට ඇවිත් මේ නිර්මාණය බලලා යන හැම කෙනෙක්ම සුපර්ණාව එළියට අරගෙන යනවා. තමන් සුපර්ණා බවට පත්වෙලා. ඒක තමයි ඇත්ත කාරණාව. අපිට ඕන වුණා ගැලරියේ විසිල් එක වදින ශක්තිමත් සිනමා නිර්මාණයක් කරන්න. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. සුපර්ණා කියන්නේ නිකන්ම නිකන් චිත්‍රපටයක් නෙවෙයි. ජාතික වැඩපිළිවෙළක්, ජාතික කර්තව්‍යයක්. 

සුපර්ණා තුළ ඔබ ජීවත් වුණා. ප්‍රේක්ෂකයන් අතරට ආපු ඒ සුපර්ණා ඔබට දැනෙන විධියට විග්‍රහ කළොත්?

අපේ රටේ මිනිස්සු හරි ආසයිනේ වෙන ග්‍රහලෝකයකින් ආපු කෙනෙක් කියන දේවල් අහන්න. අපි උපකල්පනය කළ දෙයක් තමයි මේ මහ පොළොව විනාශ වෙනවා හා සමානව මේ විශ්වයේ තවත් ජීවීන් ඉන්න ග්‍රහලෝකයන් තියෙනවා. ඒ ග්‍රහලෝකවල මිනිස්සු ජීවත් වෙනවා නම් මේ වෙනකොට ඔවුන්ටත් තිබෙන බරපතළ ප්‍රශ්නයක් තමයි මිනිසා විසින් ස්වභාවදහම විනාශ කිරීම කියන ප්‍රශ්නය. එහෙම නම් ඔවුනුත් මේ විශ්වය පුරා සැරිසරනවා වෙන්න පුළුවන්, ස්වභාවදහම ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණාවත් එක්ක. මේ රට ඒ තරම් මහා විනාශයකට තවම පත්වෙලා නැහැ. මේ මොහොතේ අපිට පුළුවන් ඒ ගැන හිතන්න. සුපර්ණා කියන චරිතය මේ මහපොළොවේ ජනිත වෙන්නේ මේ මහපොළොව ආරක්ෂා කිරීම පිණිස. මිනිසුන්ට දෙන පණිවුඩය හෘදයාංගමව, ආදරණීය ලෙස දෙන්න තමයි ‘සුපර්ණා’ මේ මහපොළොවේ ජනිත වෙන්නේ. 

මේ චරිතය වෙනුවෙන් ඔබට ස්වරූපමය වෙනසකටත් යන්න සිද්ධ වෙනවා නේද?

සුජීව තීරණය කරලා තිබුණා මේ චිත්‍රපටය තුළ ඉන්න සුපර්ණා කියන්නේ හිස මුඩු ගැහැනියක් කියලා. ඒ නිසා සුජීවට ඕන වුණා මගේ හිස මුඩු කරන්න. මම චරිතයට අවශ්‍ය විධියට හිස මුඩු කළා. සුජීවට ඕන වුණා මම බයිසිකල් ඉතාම වේගයෙන් පදින ගැහැනියක් වෙන්නට. ඒ චරිතයට අවශ්‍ය නිසා මම බොහොම වේගයෙන් බයිසිකල් පදින්න ඉගෙන ගත්තා. සුජීවට ඕන වුණා සුපර්ණාට අශ්වයෝ පදින්න පුරුදු කරන්න. ඒ නිසා මම අශ්වයෝ පදින්න ඉගෙන ගත්තා. ඒ චරිතයට අවශ්‍ය කරන පසුබිමට මම හුරු වුණා. සුපර්ණා කියන්නේ මටසිලුටු සුන්දර, හීන්දෑරි කාන්තාවක් නෙවෙයි. ඇය ජවසම්පන්න, ශක්තිමත්, එඩිතර, පිට කොන්දක් තිබෙන, පිරිමින් දාහක් එක්ක සටන් කරන්නට හයියක් තිබෙන ගැහැනියක්. ඒ නිසා මගේ ස්වරූපය මේ චරිතයට වෙනස් කළ යුතුයි කියලා සුජීව කිව්වා. 

මේ චිත්‍රපටය තුළ ‘සුපර්ණා’ම විශේෂ වෙන නිසාමද ඒ නමින්ම චිත්‍රපටය නම් කර තිබෙන්නේ?

සුජීව සුපර්ණා කියන නම මෙයට යොදන්නේ සුපර්ණා කියන චරිතය පමණක් ප්‍රධාන වෙන නිසා නෙවෙයි. මේ චිත්‍රපටයේ ජීවත් වෙන හැම කෙනෙක්ම ඉතාම ප්‍රධානයි. මෙහි ප්‍රධාන චරිත බවට පත්වන්නේ ස්වාභාවික පරිසරය සහ ඉර. ඊට පස්සේ අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, කලණ ගුණසේකර, වීනා ජයකොඩි, දිනක්ෂි ප්‍රියසාද්, සංජීව උපේන්ද්‍ර, ජනක් ප්‍රේමලාල් කියන මේ සියලුම දෙනා මේ නිර්මාණය තුළ ප්‍රබලයි. කිසිම කෙනෙක් වෙන වෙනම මතුවෙන්නේ නැහැ. හැම කෙනකුම එකම විධියට ප්‍රධානයි. හේතුව රටක් ගත්තත්, මේ රටේ ස්වභාවධර්මයාගේ ඉඳන් හැම කෙනකුම ප්‍රධාන චරිත බවට පත්වෙනවා. ගැටලුව වෙන්නේ අපි ප්‍රධාන වෙන්න ගිහින් ස්වභාවදහම විනාශ කරලා දානවා. 

ඒ කියන්නේ චිත්‍රපටය තුළ එක චරිතයක් මතු කරන්න අවශ්‍ය වී තිබුණේ නැද්ද?

සුජීවට එක චරිතයක් විශේෂ කරන්න අවශ්‍ය වුණේ නැහැ. සුපර්ණා වගේම හැම චරිතයක්ම විශේෂයි. සුජීව හරි ලස්සනට බෞද්ධ දර්ශනය මතු කරනවා. බෞද්ධ දර්ශනය තුළ තිබෙනවානේ නැවත ඉපදීම ගැන. සුපර්ණා ඉතිහාස කතාවක් තියෙනවා. අවුරුදු පන්දාහකට, දහදාහකට එහා ඉතිහාසයේ ජීවත් වුණු මහපොළොව ආරක්ෂා කරන්න එන මිනිස්සුම තමයි නැවත නැවත මේ භූමිය තුළ උත්පත්තිය ලබමින් අද දවසේ මේ මහ පොළොව ආරක්ෂා කරන්නේ. රට විනාශ කරන්න යමෙක් උපදිනවාද ඒ හා සමානවම මේ රට ආරක්ෂා කරන්න තව දස දෙනෙක් උපදිනවා. ඒ ධර්මතාවත් මෙහි හරි ලස්සනට කතා කරනවා. 

ඔබ කාගේ නිර්මාණයට වුණත් උපරිම කැපවෙන කෙනෙක්. සුපර්ණා චිත්‍රපටය තුළ ඔබට අභියෝගයක් වූ තැන් තියෙනවාද?

මට අභියෝගයක් කියලා දෙයක් නෑ. සමහරු කියනවා දුලීකා ඔයාගේ ඇඟත් එක්ක කොහොමද ඔය දේවල් කරන්නේ කියලා. ඇඟේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. හිතෙයි ප්‍රශ්නය තියෙන්නේ. ශරීරයේ ප්‍රමාණය කොච්චර වුණත් කළුද? කැතද, මහතද, උසද, කියන ඔය එක කාරණාවක්වත් වැදගත් වෙන්නේ නෑ. ආත්ම ශක්තිය තමයි කාන්තාවකට වුණත් වැදගත් වෙන්නේ. සිහිකල්පනාවෙන් වැඩ කරන එකයි වැදගත් වෙන්නේ. ගැහැනියක් කියන්නේ කවදා හරි අම්මා කෙනෙක් වෙන චරිතය. ශේ‍ර්ෂ්ඨ වූ ගැහැනිය කියන්නේ ඇයට නැහැ බැහැ කියලා දෙයක් හෝ අභියෝගයක් හෝ පසුබෑමක්, මන්දගාමී බවක් තිබෙන්න බැහැ. 

කාන්තාවක් විධියට මට මේ චිත්‍රපටයේ අභියෝග තිබුණේ නැහැ. අවිවේකීකම කියන කාරණාව විතරයි මෙතැනදී තියෙන්නේ. හැබැයි ඒ දේවල් හරියට කළමනාකරණය කරගත්තා නම් අභියෝගයක් නැහැ. මගේ ජීවිතේ අභියෝගය කියන වචනය මම පාවිච්චි කරන්නේ නැහැ. මම යමක් භාරගත්තොත් එය කෙළවර වෙනකල් නිවැරැදිව, ආත්ම ශක්තියෙන් කරගෙන යන්නේ කොහොමද කියන කාරණාව ගැන. තමයි මම හිතන්නේ. මට බය හිතෙන්නේ හෝ දෙයක් අතහරින්නේ හෝ නැහැ. මාත් එක්ක වැඩ කරපු අය දන්නවා අභියෝග කියන දේවල් මට නෑ කියලා. හරිම සුන්දරව නිර්මාණය කරන කාලය මම ගත කළා. පානම, ආරුගම්බේ, පොතුවිල්වලට අඩිය තියෙන පමාව විතරයි. විශාල සෙනඟක් එක්කහු වෙලා මොනවාද මං වෙනුවෙන් කරන්න ඕනේ කියලා ඇහුවා. 

හැමෝම එකතු වෙලා වැඩ කළා. සියලු දෙනාගේ ශක්තිය එක්ක තමයි මට පුළුවන් වුණේ මේ වැඩේ අපූරුවට ඉවර කරන්න. සරත් වීරසේකර මහත්තයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මට ඔහු විශාල පරිසරයක් හඳුන්වලා දුන්නා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ ඒ පළාත්වල අයව මට හඳුන්වලා දුන්නා. පානම ඉඳන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට වෙනකල් ‘සුපර්ණා’ චිත්‍රපටයේ දර්ශන තල තිබ්බ හැම තැනකදීම අපිට ලැබුණු සහාය ඉතා විශිෂ්ටයි. 

මේ චිත්‍රපටය දැන් තිබෙන ස්වභාවදහම සහ මිනිසා පිළිබඳවූ කතිකාවටත් ගැළපෙන නිර්මාණයක් නේද?

මිනිසුන්ව විනාශ කරන්න වයිරස් හදනවද කියලා මිනිස්සු අවුරුදු දෙකකට කලින් කියන්න ගත්තා. ඒවා අපිට අහන්න ලැබුණේ මේ සිනමා නිර්මාණය කරන්න සූදානම් වෙන මොහොතේදී. හැබැයි අද දවසේදී මුළු ලෝකයම ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා. මොනතරම් භයානක වයිරස්ද නිර්මාණය කරන්නේ කියන කාරණාව ගැන. පසුගිය කාලේ ඕස්ට්‍රේලියාවේ ළැව්ගිනි හටගත්තේ එක පැත්තක. අනෙක් පැත්තෙන් මිනිස්සු ඒක කළේ. දැන් කොරෝනා ගැන කතා කරනවා. එය ස්වාභාවික වයිරසයක් නෙවෙයි. එය මිනිසුන් විසින් නිර්මාණය කරලා තියෙන්නේ. අපේ රටේ වුණත් පසුගිය කාලේ කොතරම් ජාන මංකොල්ල සිදුවෙන්න ගියාද? මිනිස්සු බලයට, තණ්හාවට, මුදලට ලෝභ වුණාම මොනවාද කරන්නේ කියලා ඔවුන්ට අවබෝධයක් නැති වෙනවා. සල්ලි වෙනුවෙන් අම්මා, අප්පා, දරුවා පවා පාවා දෙනවා. එහෙම ලෝකයකට තමයි අපි මේ සුපර්ණා නිර්මාණය කරන්නේ. ‘සුපර්ණා’ තුළින් කතා කරන්නේ මිනිස්සු බලයට, මුදලට, කෑදරවෙලා පෙරේත වෙලා කරන විනාශකාරී තත්ත්වයන් ගැන. 

සමහරු හිතනවා දැන් ප්‍රේක්ෂකයෝ කැමැති හුදු සරල විනෝදාස්වාදය සපයන හාස‍ේ‍යාත්පාදක හෝ වාණිජ පරමාර්ථ මුල් කොට ගත් චිත්‍රපටවලට කියලා. සුපර්ණා වගේ ඒ සීමා අතික්‍රමණය කළ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයෝ කොයිතරම් දුරට වැලඳ ගනිවීද?

‘සුපර්ණා’ මේ වෙනකොට ප්‍රේක්ෂකයෝ වැලඳගෙන හමාරයි. ඔළුව උස්සන්න බැරිතරම් ප්‍රතිචාර අපිට ලැබෙනවා. සුපර්ණා චිත්‍රපටය තිරගත වෙනකල් බොහෝදෙනෙක් බලාගෙන හිටියා. හාස‍ේ‍යාත්පාදක නිර්මාණ විතරක් ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්නවා කියලා හිතන්නේ නිර්මාණකරුවෝ. හැබැයි මේ රටේ මිනිසුන්ට ඕනේ ඊට එහාට ගිය නිර්මාණ. මේ රටේ මිනිසුන්ට විදේශීය නිර්මාණ බලන්න නැඹුරුවක් ඇති වී තිබෙන්නේ ඇයි. අපේ රටේ නිර්මාණවලින් යම්තාක් දුරට මිනිස්සු හෙම්බත් වෙලා තියෙනවා. මහාවංසයයි, ජාතක කතා සංග්‍රහයයි නොතිබුණා නම් මේ රටේ නිර්මාණයක් නෑ. හැබැයි අපේ පරම්පරාවේ නිර්මාණකරුවන් ඉන්නවා විශිෂ්ට නිර්මාණ අතේ තියාගෙන. පරිපාලන අංශයන් විසින් ඔවුන්ගේ නිර්මාණ එළියට දාන්න දෙන්නේ නෑ. අපේ රටේ මිනිසුන්ගේ විඥානය, රසඥතාව වෙනස්විය යුතු නැද්ද? එහෙම වෙනස් වෙලා තියෙන නිසා තමයි මිනිස්සු විදේශීය සිනමාපට මේ තරම් වැලඳගෙන තියෙන්නේ. අපේ නිර්මාණවල මොකක් හෝ වැරැද්දක් තියෙනවා. අද කොමඩි චිත්‍රපටයක් හදලා ඒකට හෙටත් මිනිස්සු කැමැති වෙයි කියලා හිතුවට මිනිස්සු කැමැති දවසින් දවස අලුත් චිත්‍රපට රස විඳින්න. මිනිස්සු හරි කැමැතියි තාක්ෂණයත් එක්ක යන නිර්මාණ බලන්න. ඒ වගේම අපේ රටේ මිනිස්සු කැමැතියි රට ගැන ආඩම්බරයෙන් කතා කරන, රට ගැන හැඟීමක් ඇති වෙන, රට මුදුනේ තියා සලකන නිර්මාණ දකින්න. සුපර්ණා කියන්නේ ලංකාවේ නිර්මාණය වුණු ප්‍රථම හරිත සිනමාපටය සහ විද්‍යා ප්‍රබන්ධය. මෙය රට ගැන නිර්මාණය වුණු රට ගැන හැඟීමක් ඇති කරන, අනාගතයේ දරුවන් වෙනුවෙන් මේ රට ආරක්ෂා කළයුතුයි කියන පරම චේතනාවෙන් නිර්මාණය වුණු සිනමා පටයක්. අපේ චිත්‍රපටය එන්න කලින් සිනමා ශාලාවලින් අපේ චිත්‍රපටය තිරගත කරන්න ඉල්ලුවා. අපිට සතුටුයි. මේක සුජීවගේ පළමු චිත්‍රපට නිර්මාණය. නිෂ්පාදකතුමියගේ පළමු නිෂ්පාදනය, පබළු විජේගුණවර්ධන සංගීත අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා නිර්මාණය. රංග වින්‍යාසයට සම්බන්ධ වන රසික කොතලාවලගේ පළමු චිත්‍රපටයත් මේක. මේ චිත්‍රපටයේ විශාල අලුත් පිරිසකුත් ඉන්නවා. අලුත් පිරිසක් අලුත් මුහුණු වුණාට අලුත්, ප්‍රවීන සියලුදෙනා එක්ක අලුත් සංකල්පයක් අපි රටට දෙනවා. රට ආරක්ෂා කරන්න, ස්වභාව දහමට ආදරය කරන්න කියන පණිවුඩය තමයි අපි දෙන්නේ. 

ගෙවුණු ආදරවන්තයන්ගේ දවසේ ඉඳන් ස්වභාව දහමට ආදරය කරන පිරිසක් මේ පණිවුඩය හරහා ගොඩනැඟෙයිද?

අනිවාර්යයෙන්ම. රැල්ලක් වගේ මෙය පටන් ගනියි. ඊට පස්සේ හැමෝම ස්වභාව දහම ගැන නිර්මාණ කරයි. ඒ රැල්ල අපි නිර්මාණය කරනවා. කාලෙන් කාලෙට විවිධ රැලි එනවනේ. අපි පටන් ගන්නවා මේ රට ඇතුළේ ස්වභාව දහම, අවිද්‍යාව, විද්‍යාව, මනුෂ්‍යත්වය ගැන වෙනමම රැල්ලක් හදන්න. ඒ රැල්ල සුපර්ණා තුළින් ආරම්භ වේවි. අපේ රටේ ගස් හිටවන රැල්ලක් ඇතිවෙලා තියෙනවා. ඒ රැල්ල නියමයි. හැබැයි පෙබරවාරි මාසේ ගස් සිටවන්න එපා. පෙබරවාරි කියන්නේ ගස් මැරෙන කාලය. මුල් නිදාගන්න කාලය. මෙය පායන කාලයක්. ආයෙත් අපි ගස් සිටුවිය යුත්තේ මාර්තු මාසේ 15 වැනිදායින් පස්සේ. අපිට ස්වභාව දහමට මිලක් නියම කරන්න බෑ. අපි හැමෝටම ජාතික වගකීමක් තියෙනවා ස්වභාව දහම ආරක්ෂා කරගන්න. අපි සංවර්ධනය විය යුත්තේ ස්වභාව දහම ආරක්ෂා කරගනිමින්. අපි අපිට ආගන්තුකයන්ගේ, ආදරවන්තයන්ගේ දිනයක් සමරනවා. පෙබරවාරි 14 මහ පොළොවට පෙම්බඳින දිනය කර ගෙන ඉදිරියට යමු. අපිට ආදරය කරන්න රටක් තියෙන්න ඕනේ. අපිට ස්වභාවදහමක් තියෙන්න ඕනේ. අපිත් එක්ක බද්ධ වුණු හොඳ සංස්කෘතියක් තියෙන්න ඕන. පෙබරවාරි 14 මුළු රටටම, ස්වභාව දහමට ආදරය කරන, මහ පොළොවට ආදරය කරන දවසක් හැටියට තියලා එදායින් ‘සුපර්ණා’ සංචාරය ආරම්භ කළා. සුපර්ණාට නිදහසේ පියාඹන්න අත්තටු ලබාදෙන්න. මොකද අපි මේ රටට ලස්සන පණිවුඩයක් අරගෙන එන නිසා. 

මෙය පිරිසකට පමණක් සීමා වෙන චිත්‍රපටයක් නොවේවිද?

පුංචි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම මෙය රසවිඳින්න පුළුවන්. සුපර්ණාගේ පුංචි කාලය රඟපාන්නේ කෙනාරා වීරතුංග කියන පුංචි දැරිය. පුංචි දරුවන්ටත් මේ චිත්‍රපටය බලන්න පුළුවන්. හැම පන්තියකම මනුස්සයකුට එකට හිඳ රසවිඳින්න පුළුවන් සිනමා නිර්මාණයක් තමයි සුපර්ණා කියන්නේ. මේක පුංචි ළමයින්ටද වැඩිහිටියන්ටද කියලා ලඝු කරන්න මම කැමැති නැහැ. මෙය ඕනෑම කෙනකුට රසවිඳින්න පුළුවන්. 

මේ දිනවල සුපර්ණා වෙනුවෙන් විතරද ඔබේ කාලය වෙන්වෙන්නේ?

මම අවුරුදු දෙකහමාරකට පස්සේ ‘සිහිනි’ කියලා ටෙලි නාට්‍යයක් භාරගත්තා. මේ වෙලාවේ මගේ වැඩි කාලය මම යොදවන්නේ සුපර්ණා වෙනුවෙන්. මට ‘සුපර්ණා’ අතිශය සාර්ථක කරගන්න අවශ්‍යයි. අපි කතා කරන පණිවුඩය සමාජගත කරන්න මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඒ පණිවුඩය රැගෙන යා යුතුයි. ජාතික වගකීමක් ඉෂ්ට කරන්න අපි මහන්සි වෙනවා.

No comments:

Powered by Blogger.