Header Ads

Breaking News
recent

නාවික හමුදාවෙන් තොරතුරු නොලැබීම නිසා සෞඛ්‍ය අංශ අර්බුදයක

නාවික හමුදා සාමාජිකයන් නිරෝධායනය කිරීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන Covid-19 ආසාදිතයන්ගේ තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට නොලැබීම නිසා ඔවුන් සමඟ ස්පර්ශ වූ කණ්ඩායම් සම්බන්ධයෙන් නිරෝධායන කටයුතු හා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමය පවසයි.
ඔවුන් සඳහන් කළේ ඒ අනුව හමුදා කණ්ඩායම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතර සම්බන්ධතාව පිළිබඳ නැවත වරක් ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවකි.

“නාවික හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ දී Covid-19 පොසිටිව් වන අය සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිල වශයෙන් වාර්තා වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල නිල නොවන ආකාරයට ඒ අයගේ පවුල්වල අය කතා කරලා මහජන පරීක්ෂකවරුන්ට කියූ අවස්ථා තියනවා.” ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී. උපුල් රෝහණ මහතා කියා සිටී.

මේ හේතුවෙන් හමුදා අංශ හා සෞඛ්‍ය අංශ අතර සම්බන්ධීකරණයේ ගැටලුවක් නැවත නිර්මාණය වෙමින් තිබෙන බවත් එක අරමුණක් වෙනුවෙන් එක ගමනක් යෑමට නම් සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය යන සියලු අංශ එක්ව කටයුතු කළ යුතු බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා එවැනි ගැටලුවක් ඇත්නම් ඔවුන්ට එය නාවික හමුදාවට ලිඛිතව දැනුම් දීමට හැකි බව මාධ්‍යට පවසා තිබේ.
එමෙන්ම නාවික හමුදාව එම තොරතුරු අදාළ ස්ථානවලට දැනුම් දෙන බවත් ඒ සම්බන්ධව ගැටලුවක් තිබේ නම් මාධ්‍යවලට ඒ ගැන කීමපලක් නොවන බවත්, ඔවුන් ඒ පිළිබඳ නාවික හමුදාපතිට ලිඛිතව දැන්විය යුතුව තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමට Covid-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ලුතිනන් ජෙනාරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන අය දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළ ද ව්‍යර්ථ විය.

මූලාශ්‍රය - රාවය


No comments:

Powered by Blogger.