Header Ads

Breaking News
recent

ජුනි 21වැනිදා වළයාකාර සූර්ය ග්‍රහණයක් – ජූලි 5වැනිදා තවත් ඡායා චන්ද්‍රග්‍රහණක් !

දින 30 ඇතුළත චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සුර්යග්‍රහණයක් ලොවට දිස්වන ග්‍රහණ කාල පරිච්චේදයක් මේ දිනවල උදා වී ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඒ, 2020 ජුනි 5 සිදුවූ සහ ජුලි 5 වෙතැයි අපේක්ෂා කෙරෙන ඡායා චන්ද්‍රග්‍රහණ සහ ජුනි 21 වන දින ඇතිවන වළයාකාර සූර්ය ග්‍රහණය වේ.

හිරු සහ චන්ද්‍රයා එකම තලයක රේඛීයව පිහිටි විට ග්‍රහණ ඇති වන අතර, බොහෝ විට චන්ද්‍ර ග්‍රහණයකට දින 14 පෙර හෝ පසු ඇති වන අමාවක දිනයක දී සූර්ය ග්‍රහණයක් ඇතිවේ.

සුර්යග්‍රහණ දිස්වීම ඉතා විරල දසුනක් බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

“කෙසේ වෙතත් පසුගිය 2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණයක් මෙම ජුනි 21 දා ද ඇතිවන අතර එය ලංකාවේ අපට දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට ය”.

නැවතත් සූර්යග්‍රහණය ක් ශ්‍රී ලාංකිකයින්ට දැක බලාගත හැකි වන්නේ 2022 ඔක්තෝබර් 22 දා ය.

සූර්යග්‍රහණය දිස්වන ප්‍රදේශ සහ වේලාවන්:

මෙම වළයාකාර සූර්යග්‍රහණය ජුනි 21 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට උදේ වරුවේ ආරම්භ වන අතර පසුව කොංගෝව, ඉතියෝපියාව, යේමනය, සෞදි අරාබිය, ඕමානය, පකිස්තානය, ඉන්දියාව, චීනය සහ තායිවානය වෙත ගමන්කර, දකුණු පැසිපික් සාගරයේ දී සවස්වරුවේ අවසන් වේ.

2020 ජුනි 21 වනදින කොළඹ නගරයට පෙ.ව.10.29 පමණ සිට ප.ව. 01.19 අතර කාලය තුළ පැය දෙකකුත් විනාඩි පනහකට ආසන්න කාලයක් තුළ මෙය අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙස දිස්වේ.

“ග්‍රහණ උපරිම අවස්ථාව වන පෙ. ව. 11.51 වන විට චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 30 % ක පමණ ප්‍රමාණයක් ආවරණය වනු ඇත. ලංකාවේ විවිධ ප්‍රදේශවලට විනාඩි කිහිපයක වෙනසක් සහිතව ආරම්භය සහ අවසානය දිස්වේ”.

“උදහරණයක් ලෙස යාපනයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.24 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.54 සහ ග්‍රහණ අවසානය ප.ව. 1.30 ට සිදු වන අතර මාතර නගරයට ග්‍රහණ ආරම්භය පෙ.ව. 10.34 , ග්‍රහණ උපරිමය පෙ.ව. 11.53 සහ ග්‍රහණ අවසානය ප.ව. 1.17 ට සිදු වනු ඇත”.

ග්‍රහනයක් ඇතිව හෝ නැතිව සූර්යයා දෙස නිසි ආරක්ෂිත ක්‍රම භාවිතා නොකර සෘජුව පියවි ඇසින් බැලීමෙන් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා අනතුරු අඟවයි.

වළයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ කෙසේද?

පෘථිවිය හා සූර්යයා අතර සෘජු රේඛාවක් ඔස්සේ චන්ද්‍රයා ගමන් කරන විට සූර්යග්‍රහණයක් සිදු වේ.

එවිට සඳෙහි සෙවනැල්ල පෘථිවි පෘෂ්ඨය හරහා ගමන් කරන අතර පෘථිවියේ සිට පෙනෙන පරිදි සූර්යයාගේ ආලෝකය අවහිර කරයි.

පෘථිවිය හිරු වටා යන කක්ෂ තලයට අංශක 5 ක පමණ ආනතියකින් චන්ද්‍රයා පෘථිවිය වටා කක්ෂගත වන තලය පිහිටා ඇති හෙයින් චන්ද්‍රයා පෘථිවි කක්ෂීය තලය තරණය කරන්නේ වසරකට දෙවරක් පමණි.

මෙම වේලාවන් ග්‍රහණ ඇති වන කාල පරාස වේ.

සූර්ය ග්‍රහණයක් ඇතිවනුයේ අමාවක දිනකදීය. පෘථිවිය වටා චන්ද්‍රයා පරිභ්‍රමණය වනුයේ වෘතාකාර කක්ෂක නොව ඉලිප්සාකාර කක්ෂයකය.

ඉලිප්සාකාර කක්ෂයේ චන්ද්‍රයා පෘථිවියට වඩාත්ම ඈතින් පිහිටන විටකදී සුර්ය ග්‍රණයක් සිදුවහොත් වළයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවේ.

මෙම අවස්ථාවේදී සඳ සාපේක්ෂරව කුඩාවට පෙනෙන අතර සූර්යයා පූර්ණ ලෙස ග්‍රහණය නොවී ගිනි වලල්ලක් වටේට පිහිටන සේ හිරු තැටිය මත චන්ද්‍රයා කළු ලපයක් සේ දිස්වේ.




ආරක්ෂාකාරී ව සූර්යග්‍රහණයක් නරඹන්නේ කෙසේද ?

“සූර්යයා දෙස සෘජුව බැලීමෙන්, සූර්ය ග්‍රණයක දී පවා, ඔබ නිසි අක්ෂි ආරක්ෂාවක් පැළඳ නොසිටින්නේ නම්, අන්ධභාවයට හා වෙනත් ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැක”.

“සූර්යයා ආරක්ෂිතව නිරීක්ෂණය කිරීමට හෝ සූර්ය ග්‍රහණයක් නැරඹීමට ඔබට විශේෂ ආරක්ෂිත ඇස් කණ්ණාඩි හෝ සූර්ය ග්‍රහණ වීදුරු අවශ්‍ය වේ. සාමාන්‍ය අව් කණ්ණාඩි, (පාරජම්බුල කිරණ අවශෝෂණ කරන ඒවා පවා) ඔබේ ඇස් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරනු ඇත”.

“ඔබ කිසියම් ඡායාරූප උපකරණයක් සමඟ සූර්ය ග්‍රහණය ලේඛන ගත කිරීමට අදහස් කරන්නේ නම්, සූර්යාගේ නොවසුනු ඉතිරි ආලෝක කොටස ඔබේ දර්ශනයට හානියක් නොවන බවට වග බලා ගැනීම සඳහා ඔබට එකතු කළ හැකි විශේෂ සූර්ය පෙරහන් තිබේ”.



No comments:

Powered by Blogger.