Header Ads

Breaking News
recent

පෙරටුගාමී උද්ඝෝෂණයට පහර දීමෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙලෙසුණා - වාසු

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පසුගියදා ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දීමෙන් සිදු වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති  කෙළෙසීම බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එයින් සිදු වූයේ ආණ්ඩුව අනවශ්‍ය පටලැවිල්ලකට හසු වීම බවයි ඔහු කියා සිටියේ.

ලොවම පිළිගත් අපරාධයක් පිළිබඳව විරෝධය දැක්වීමට ලංකාවටද අවස්ථාව හිමි විය යුතු අතර එය වළක්වාලමින් අධිකරණය තහනම් නියෝගයක් දුන්නේ ඇයිද යන ප්‍රශ්නය පවතින බව වාසුදේව නානායක්කාර මහතාද පැවසුවේය.

එය ඉතා අශෝභන ගැටුමක් වන අතර ඒ මොහොතේ පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.

"නිරායුධ මනුස්සයෙකුට මාංචුදාලා තියලා බෙල්ල හිරකරලා මරද්දී මහජනයා ඊට විරෝධය පානවා. එසේ වීම ලෝකය උහුලන්නේ නැති අපරාධයක් විදිහට ලෝකය පුරා ප්‍රතික්ෂේප වෙමින්  තිබෙනවා. ලංකාවේත් ඇමරිකානු තනාපති කාර්යල් ඉදිරියේ විරෝධය පාන්නේ ඇමරිකානු රාජ්‍යයට හා ඇමරිකානු පොලීසියට එරෙහිව. එයට අවස්ථාව හිමි විය යුතුයි. මම දන්නේ නැහැ එය තහනම් කරමින් ඇයි උසාවිය නියෝගයක් දුන්නේ කියලා. උසාවිය දුන්න නියෝගය නිසා තමයි පොලීසියයි විරෝධතාකරුවන් අතරෙයි ගැටුමක් ඇති වුණේ. මෙතන වරද තියෙන්නේ නියෝගයක් දීමයි. ලෝකය සමස්ත වශයෙන් පිළිගත් අපරාධයක් පිළිබඳ ලෝකයම විරෝධය දක්වද්දී ලංකාවට එම අවස්ථාව අහිමි කරන එක නරකයි. නමුත් නිරෝධායන නීති අනුවයි විරෝධය පාන්න ඕනේ. සමාජ දුරස්ථභාවය තබාගෙන මුඛ වැසුම් දාලා. ඒ වෙනුවට වුණේ පොලීසිය ගිහින් කඩා පැනලා උසාවි නියෝගය කියවලා උසාවියේ නියෝගය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා විරෝධය නැවැත්වීමේ උත්සාහයක යෙදුණේ. ඒ උත්සාහයේ යෙදීම නිසා එතන විශාල ගැටුමක් ඇති වුණා.

අශෝභන ගැටුමක් ඇති වුණා. පොලීසිය ගත්තු පියවර අපි ඒ වෙලාවේ තිරයේ දැක්කා. ඒ අනුව පෙනී ගියේ පොලීසියේ හැසිරිම, ක්‍රියා කලාපය අනුමත කරන්න බැරි තරම් අනවශ්‍ය ක්‍රියා කලාපයක්. මම දන්නේ නැහැ මේ නියෝගය ඉල්ලුවේ ඇයි කියලා. මම හිතන්නේ නැහැ අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක මේ ගැන කතා කරලා තමයි කටයුතු කරන්න තිබුණේ.  විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගැන අහලා මෙහෙම දෙයකට ගියා නම් ඒ ගැන හිතාගන්න පුළුවන්. නමුත් සිද්ධ වූණේ ආණ්ඩුව අනවශ්‍ය පටලැවිල්ලකට ඇදලා දැමීම. ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්තරා විදිහකින් කෙළෙසුණා."

ඒ අනුව එම උද්ඝෝෂණයට පොලීසිය ඒ අන්දමින් පහර දීම පිළිගත නොහැකි බවයි වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේ.


No comments:

Powered by Blogger.