Header Ads

Breaking News
recent

පතිරගේ ගේ ලාභ MBBS එක ගැන සොයන්න GMOA එක කමිටුවක් දායි

ශ්‍රී ලංකාව තුළ නැවත වරක් පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ කතා බහක් ඇති වී තිබෙන හෙයින් එම කටයුතු සිදු කෙරෙන්නේ පෞද්ගලික හෝ රජයේ මැදිහත් වීමෙන් ද යන්න විමර්ශනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පංච පුද්ගල කමිටුවක් පිහිටුවා ඇති බව එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා කියයි.

මීට පෙර උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය සහ සයිටම් වෛද්‍ය පීඨය පිහිටුවීම නිසා සිසුන්ට හානියක් සිදුව තිබියදීත් නැවතත් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන කතාබහක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් සිය සංගමය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මේ කතා බහ ඇතිවීමට මුල පිරුණේ බිලියන පති ව්‍යාපාරික අශෝක් කාරියවසම් පතිරගේ මහතා 'සොෆ්ට්ලොජික්' ව්‍යාපාර සමූහයට අයත් ‘ආසිරි’ පෞද්ගලික රෝහල් ජාලය, සම්බන්ධ කරගෙන පෞද්ගලික උපාධි විකුණන ආයතනයක් ස්ථාපිත කිරීමට සූදානම්වන බව එම සමාගමේ නවතම වාර්ෂික සමාලෝචනයෙන් හෙළිකර කිරීමත් සමගිනි.

ස්කොට්ලන්තයේ ස්ථාපිත ඇබර්ඩීන් විශ්ව විද්‍යාලය (University of Aberdeen) සමඟ අනුබද්ධව ශ්‍රී ලංකාවේ මේ වෛද්‍ය උපාධි පාඨමාලාව දියත් කරන බව සොෆ්ලොජික් සමාගම කියා සිටී.

එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද මෙම අධ්‍යාපන වැඩසටහන 2020 දී දියත් කිරීමට නියමිත බවද පැවසේ.

මෙහිදී වසර 3ක කාලයක් ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ න්‍යායික දැනුමත්, වසර 2ක කාලයක් ආසිරි රෝහල් සමූහයේ සායනික පාඨමාලාවත් ලබා දෙනු ඇති බව පැවසේ.

1978 ජේ.ආර්.ජයවර්ධන මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනයේ නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ආරම්භ කළ ආසිරි රෝහල් ව්‍යාපාරය 2018 නොවැම්බර් මාසයේදී පතිරගේ මහතාට අයත් සොෆ්ලොජික් සමූහ ව්‍යාපාරය යටතට පත්විය.

ආසිරි රෝහල් සමූහය විසින් දැවැන්ත පෞද්ගලික රෝහල් 4ක් සහ රසායනාගාර සේවා පවත්වාගෙන යමින් 1978 සිට විවිධ ආණ්ඩු යටතේ ප්‍රතිපාදන කපමින් බිඳවට්ටනු ලැබූ නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවට අධික මිල ගණන් සඳහා සෞඛ්‍ය සේවා අලෙවි කරමින් සිටින ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත්වූවකි.

මින් පෙර 2009 වසරේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් මෙවැනිම ආකාරයෙන් පෞද්ගලික වෛද්‍ය උපාධි අලෙවි කිරීමට පිහිටුවන ලද SAITM ආයතනය, දීර්ඝ ජනතා අරගලයක ප්‍රතිඵලයක් ලෙස වසා දමන්නට පසුගිය ආණ්ඩුවට සිදු විය.

අන්තරේ විරෝධය

මේ අතර, වෛද්‍ය උපාධිය රුපියල් කෝටි හතරකට විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සින බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

ඊට විරුද්ධව පළමු මොහොතේම සියලු බාධක මැද පාරට බැසීමට සූදානම් බවද ඔවුන් කියා සිටී.

පතිරගේට ආණ්ඩුවේ අනුමැතියක් නැද්ද?

එසේම, රාවය පුවත්පත වෙත අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් ඇති කිරීමට හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේවුවද, මාධ්‍ය වාර්තා කර ඇත්තේ පතිරගේ මහතාගේ මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබී ඇති බවයි.

No comments:

Powered by Blogger.