Header Ads

Breaking News
recent

කොරෝනා මර්දනය ගැන එදා අපි කියපු හැමදේම අද ඔප්පු වෙලා. දැන්වත් මේක හරියට කරන්න - සජිත්

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් මුල පටන්ම තමන් පාර්ලිමේන්තුව තුළ කරුණු දක්වද්දී, යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩු පක්ෂය ඊට බාධා කරමින් තමන්ට මඩ ගැසූ නමුත් තමන් එදා කී සියලු දේම අද වනවිට ඔප්පු වී ඇති බවත් දේශපාලන න්‍යාය පත්‍රවලට ප්‍රමුඛතාව නොදී දැන්වත් කොරෝනා මර්දනය නිසි ආකාරයෙන් කාර්යක්ෂමව සිදු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

"අද වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10000 ඉක්මවලා ගිහිල්ලා 20 වැනි මරණයත් සිද්ධ වෙලා තියෙනවා. අපි ආපහු හැරිලා බැලුවොත් ඔක්තෝබර් මුල මේ කොරෝනා දෙවැනි රැල්ල නිර්මාණය වෙන්න පෙර හිටියෙ ආසාදිතයින් 3388ක් වැනි ප්‍රමාණයක්. අද වනවිට සති හතරක් ඇතුළත එය 7000කින් වැඩිවෙලා, 10000 ඉක්මවා ගිහින්. මං අහන්න කැමතියි පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගෙන්, තවමත් සමාජ ව්‍යාප්තියක් සිදුවෙන්නෙ නැතෙයි කියලා ඔබතුමිය කියනවාද ?

පාර්ලිමේන්තුව තුළ මම යෝජනා කළා කොරෝනා මර්දන වැඩසටහනේ ගැසට්ටුව රටේ හැමතැනකටම එක හා සමානව බලපානවයි කියලා. එහිදී පවිත්‍රා මැතිනිය කිව්වා පාර්ලිමේන්තුව පොදු තැනක් නෙවෙයි, ඒක පාර්ලිමේන්තුවට බලපාන්නෙ නැතෙයි කියලා. නමුත් පාර්ලිමේන්තුවේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා වැළඳීමෙන් පසුව මොකක්ද වුණේ ? දින දෙකක් පාරිලිමේන්තුව වහලා විෂබීජහරණය කළා. 

එදා කොරෝනා මර්දන පියවර පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක නොකළේ 20 වැනි සංශෝධනය සම්මත කරගන්න තිබුණු ආශාව නිසා. දේශපාලන ආශාව රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම අබිබවා ගිහිල්ලා දේශපාලන ඉලක්ක සම්පූර්ණ කරගැනීම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය බවට පත්වුණා. දැන් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ අඟහරුවාදා දවසේ ඉතාම සීමිත කාලයක් පමණයි. 20 සම්මත කරගන්න කොරෝනා ප්‍රශ්නයක් වුණේ නෑ, දින ගණනක් රැස්වුණා. දැන් කොරෝනා මර්දන වැඩසටහන සෞඛ්‍ය ඇමතිනියගේ මූලිකත්වයෙන් අසාර්ථකව ක්‍රියාත්මක වෙද්දී පාර්ලිමේන්තුව රැස්වෙන්නේ සතියේ එක දිනයයි. 

මෙතනින් එක දෙයක් පැහැදිලි වෙනවා. ඒ තමයි වර්තමාන රජය කොරෝනා මැඬපැවැත්වීමට වඩා තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම රටේ ප්‍රමුඛතාවය බවට පත්කරගෙන තිබෙනවා. 

දැන් අද වනවිට PCR පරීක්ෂණ 20000ක ප්‍රතිඵල නෑ. මේ ප්‍රතිඵල ලැබීම ප්‍රමාද වීම තුළ තවත් භයානක තත්වයක් නිර්මාණය වෙනවා. වත්තල ප්‍රදේශයේ 1000කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන තවත් පොකුරක් නිර්මාණය වෙමින් පවතිනවා කියන කතාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගෙන් අපි දැනගත්තා. මේක ඉතාමත්ම භයංකාර තත්වයක්. මේ අවදානම් තත්වය මැද්දේ රජය කටයුතු කරන්නේ කොයි ආකාරයටද ? 

අපි අහනවා ඇයි පහුගිය කාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ  PCR පරීක්ෂණ යන්ත්‍ර අපේ රටට ගෙන්නුවෙ නැත්තෙ ? ඒ PCR පරීක්ෂණ යන්ත්‍රවලට අවශ්‍ය රසායන ද්‍රව්‍ය, උපකරණ අඛණ්ඩව ලබාගැනීමේ වැඩපිළිවෙලක් නිර්මාණය නොකළේ ඇයි ? ඒ වගේම අද වනවිට විශේෂයෙන්ම පිටරටවල් වලින් පැමිණෙන අපේම ශ්‍රී ලාංකිකයින් කේන්ද්‍ර කරගෙන PCR පරීක්ෂණ මගඩියක් ක්‍රියාත්මක වෙනවයි කියන එක අපට අහන්නට ලැබෙනවා. ඉතිං ඇත්ත වශයෙන්ම අද වනවිට රට තුළ ඉතාමත්ම අවුල් සහගත තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. 

මේ වර්තමාන රජයට මේ වැරදි, අඩුපාඩු අපි පෙන්නලා දෙන්නෙ ඒ අඩුපාඩු මඟහරවාගෙන කරගෙන යන වැඩසටහන නිවැරදිව ක්‍රියාත්මක කරගෙන යන්න. කරුණාකරලා මේ කොරෝනා මර්දනයයි දේශපාලන න්‍යාය පත්‍රයයි මිශ්‍ර කරගන්නට එපා. 20 අනුමත කරගත්ත සතියේ කොරෝනා මර්දන වැඩසටහන පසෙක දමලා, පාර්ලිමේන්තුව තවදුරටත් අනාරක්ෂිත කරලා, අපට සවන් දෙන්නේ නැතුව, අපි වැදගත් යෝජනා ඉදිරිපත් කරනකොට පාර්ලිමේන්තු සභාගර්භයේදී බාධා පමුණුවලා, මුළු ආණ්ඩු පාර්ශ්වයම කෑකෝ ගහලා, රට දැය වෙනුවෙන් අපි ඉදිරිපත් කරපු යෝජනා නිහඬ කරන්නට ඒ ගත්තු ක්‍රියාමාර්ගය ඉතාමත්ම අශීලාචාර දෙයක් හැටියටයි අපි දකින්නෙ. 

එදා අපි පෙන්නපු දේ අද සත්‍යය බවට පත්වෙලා තිබෙනවා. ජනවාරි 24 වෙනිදා ඉඳලා අද දවස දක්වා මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු කරුණු සියල්ලක්ම රට ඉදිරියේ සත්‍යය බවට පත්වෙලා තියෙනවා. නමුත් යෝජනා ඉදිරිපත් කරනවිට හැම වෙලාවෙම අපට මඩ ගැහුවා. චරිත ඝාතනය කළා. කමක් නැහැ. මඩගැසීමෙන් චරිත ඝාතනයෙන් යම් තාවකාලික වින්දනයක් ලැබුවාට ප්‍රශ්නයක් නැහැ. අපට මඩ ගහලා හරි කොරෝනා මර්දන ව්‍යාපෘතිය හරියට ක්‍රියාත්මක කරන්න. වහාම PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය උපකරණ ටික ගෙන්වා ගන්න. ගුණාත්මක භාවයෙන් ඉහළ උපකරණ ගෙන්වා ගන්න. අපි හැමෝම දන්නවා ඩොලර් කෝටි ගණනක් අපේ රටට ආධාර ලැබුණා, ඒ ආධාර පාවිච්චි කරන්න කොරෝනා මර්දන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න. 

මේ කාටවත් දොස් පමුණුවනවා නෙවෙයි. ඇඟිලි දික් කරනවා නෙවෙයි. මේ කතාව අපි කියන්නේ රජයේ ප්‍රබලයින්ටත් සෞඛ්‍ය ඇමතිවරියටත් මේ කොරෝනා මර්දනය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා. ඒ පියවර ටික ගන්න. ඒ කටයුතු ටික කරන්න. දැන් තමුන්නාන්සෙලාට අවශ්‍ය තුනෙන් දෙකත් ලැබිලා තියෙන්නෙ. මේ රට මුහුණ දෙන මහා වින්නැහිය ඉදිරියේ සෘජු තීන්දු තීරණ අරගෙන, දේශපාලනීකරණයට ලක් නොකර, දක්ෂ නිලධාරීන් ටික එකතු කරගෙන මේ කොරෝනා මර්දන ව්‍යාපාරය කාර්යක්ෂමව දියත් කරන්නය කියලා මම ඉල්ලනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (31) රාජාංගනය ශ්‍රී සාලියරාජ විහාරස්ථානයේ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

No comments:

Powered by Blogger.