කොරෝනාවෙන් මුදල් ගරන ආණ්ඩුවේ ගජමිතුරු කළුකඩ මුදලාලිලා පිරිසක් බිහිවෙලා - සජිත්
කොරෝනාවෙන් පවා ගරානාව සිදුකරන ආණ්ඩුවේ ගජමිතුරු කළුකඩ මුදලාලිලා පිරිසක් මේ වනවිට නිර්මාණය වී ඇති බවත් එය එසේ වීමට ඉඩනොදී ප්‍රමිතියෙන් යුතුව සාධාරණව ජනතාව වෙනුවෙන් මේ කොරෝනා මර්දන වැඩපිළිවෙල කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"කොරෝනාව කියන්නෙ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව හැමෝටම අත්වුණු විනාශයක්. නමුත් මේ විනාශය තුළිනුත් යම් යම් අධික ලාබ ලබන ව්‍යාපාර නිර්මාණය වෙලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් පිටරට අතරමං වෙච්ච අපේම රටේ ජනතාව ගෙන්වා ගැනීමේදී ගුවන් ටිකට්වලට, නිරෝධායන ක්‍රියාවලියේ හෝටල් ගාස්තුවලට අධික මුදලක් අය කරන ක්‍රමවේදයක්, කොරෝනා කළුකඩ වෙළඳාමක් නිර්මාණය වෙලා තිබුණා. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් තියෙන්නෙ මේ කොරෝනා කළුකඩ ලාබ ලබන වෙළඳාම නතර කරන්නට. මේ හැමදේටම ප්‍රමිතියක්, ක්‍රමවේදයක්, කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕනෙ.
අද ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ ගජමිතුරු, ලාබ ලබන, කළුකඩ මුදලාලිලා කල්ලියක් නිර්මාණය වෙලා තිබෙනවා කොරෝනා විනාශයෙන් වාසි ලබමින් අධික ලාබ ලබන ව්‍යාපාර ක්‍රියාත්මක කරන. විශේෂයෙන් මේ වනවිටත් රැපිඩ් ටෙස්ටින් ක්‍රමය රටට අත්‍යවශ්‍යය දෙයක්. නමුත් මේ රැපිඩ් ටෙස්ටින් ක්‍රියාවලිය සඳහා ප්‍රමිතියක් නොමැතිව වැඩ වෙනවාය කියන චෝදනාව අපට සෞඛ්‍ය අංශ වෙතින් දැනගන්නට ලැබෙනවා. එතකොට මේ රැපිඩ් ටෙස්ටින් වැඩසටහනටත් ඔය කියන ගජමිතුරු කණ්ඩායම් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතිං රජයේ වගකීම තමයි ඒවා එසේ වන්නට ඉඩනොදී ප්‍රමිතියෙන් යුතු සාධාරණ ක්‍රමයකට මේ වැඩසටහන කරන එක.
මම නම් පුද්ගලිකව විශ්වාස කරන දේ තමයි මේ පරීක්ෂණ පැවැත්වීමේදී රජය ඒ සම්පූර්ණ වියදම දරන්නට ඕනෙ. අපි අහලා තියෙනවා රජයේ රසායනාගාර ආශ්‍රිතව දිනකට පරීක්ෂණ 7500 - 8000 අතර සංඛ්‍යාවක් වෙනවා කියලා. හැබැයි පෞද්ගලික රෝහලක් කරනවා 2500ක්. එහෙම වෙන්නෙ කොහොමද ? රජයේ රසායනාගාරවල තිබෙන පහසුකම් මීටත් වඩා වැඩිවෙන්න ඕනෙ. මේ වගේ කාර්යශූරත්වය බාල කරන ඉතාම පහත් ක්‍රියාවන් අද සිදුවෙනවා. අපි රජයෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ කොරෝනා කළුකඩ මුදලාලිලා නිර්මාණය වෙන එක නතර කරන්න, පිටරටවල් වලින් අපේ රටට එන ශ්‍රමිකයින්ගෙන් කළුකඩ මිලට මුදල් අය කරන ඒ ව්‍යාපාරය නතර කරවන්න, ඒ වගේම රැපිඩ් ටෙස්ටින් වල ප්‍රමිතියකින් තොරව ගෙන්වන ඒ කළුකඩ වෙළඳාම නතර කරන්න කියලා. ඒ වගේම රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය වැඩිකිරීම උදෙසා අනිවාර්යයෙන්ම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩිකළ යුතුමයි"
මං තවත් කරුණක් කියන්නට ඕනෙ අද කර්මාන්ත ක්ෂේත්රයේ මේ තත්වයන් මහා බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මේ කර්මාන්ත ශාලාවල සේවය කරන අපේ ගම්වල, නගරවල ඒ අහිංසක තරුණ තරුණියන් සම්පූර්ණයෙන්ම අනාථ වෙලා. ඒ අයට කිසිම පිළිසරණයක් නෑ. අද ඒ අයට බෝඩ්ලෑලි වල ලියන්න වෙලා තියෙනවා අපට කෑම නෑ කියලා. වැටුපත් නෑ, රැකියාවත් නෑ, කෑමත් නෑ, බෝඩිං කුලිය ගෙවන්න හැකියාවකුත් නෑ, ඒ බෝඩිංහිමියො හදනවා ඒ තරුණ තරුණියන්ව බෝඩිංවලින් ඉවත් කරන්න ... මේ වගේ ඛේදනීය තත්වයක් තිබෙන්නෙ.
ඒ නිසා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් හිතක් පපුවක් ඇති ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙන්නට ඕනෙ. සංවේදී ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා මේ දුකෙන් පෙළෙන ජනතාවට පිහිට වන්න. ඒකටයි ආණ්ඩු පත්කරන්නේ. ආණ්ඩු පත් කරන්නේ මේක වගකීම ගන්න ඕනෙ ජනතාව පමණයි කියන්න නෙවෙයි. ඇත්ත වශයෙන්ම රජයටත් වගකීමක් තියෙනවා, ජනතාවටත් වගකීමක් තියෙනවා. මං ඒක පිළිගන්නවා. ජනතාවටත් සිද්ද වෙනවා යම් විනයානුකූල ආකාරයට තමන්ගෙ හැසිරීම් ක්‍රියාත්මක කරන්න. නමුත් ප්‍රධානතම වගකීම තියෙන්නෙ ආණ්ඩුවට. ආණ්ඩුව ඡන්ද ගැන හිතලා. 20 වැනි සංශෝධනය ගැන හිතලා, තුනෙන් දෙක ගැන හිතලා, 24 පැයම ඒකට කැපකරලා කොරෝනා දෙවැනි රැල්ලකට සූදානම් නොවී අකාර්යක්ෂමව කටයුතු කිරීමේ ඵල විපාක තමයි අද අපේ දෑස් ඉදිරිපිට හැමෝටම දකින්න තියෙන්නෙ.
මං තවත් අනතුරු හැඟවීමක් කරන්න කැමතියි. මං දන්නෑ රටේ ජනතාව මේක දන්නවද කියලා, ඩෙන්මාර්ක් රටේ මින්ක් කියලා සත්තු වර්ගයක් ඉන්නවා. ඒ සතුන්ව ඇති කරලා සතුන්ගෙ හමෙන් කබායවල් හදනවා. ( මමත් ඇත්තටම හෙළාදකිනවා ඒ කර්මාන්තය ) මේ වෙනකොට ඒ ඩෙන්මාර්කයේ මින්ක් සතුන්ට කොරෝනා වැළඳිලා, ඒ බෝ කරන සතුන් ලක්ෂ 170ක් මරාදමන්නට තීරණය කරලා තිබෙනවා. එතකොට මං අහන්න කැමතියි අපේ රටේ රජය සූදානම්ද බැරිවෙලාවත් නරක වෙලාවට මේ කොරෝනාව සතුන් අතරට ගියොත් මොකද්ද මැඬපවත්වන්නට ගන්න ක්‍රියාමාර්ගය ? සැලැස්මක් තියෙනවද ? අඩුම ගාණෙ ඒ මාතෘකාව ගැන හිතලාවත් තියෙනවද ? ඩෙන්මාර්කයේ මෙහෙම දෙයක් සිදුවෙලා, මින්ක් කියන සත්ව වර්ගයාට මේක හැදිලා තියෙනවා කියන කාරණාවවත් දන්නවද කියන එක මට සැක සහිතයි.
ඒ නිසා මේ රජයට සිද්ධ වෙනවා මීට වැඩිය කාර්යක්ෂම, මීට වැඩිය විද්‍යාත්මකව, වෙද්‍ය විශේෂඥවරුන්ගේ ආධාර උපකාර ලබාගන්න. මං යෝජනා කරනවා අපේ ජාසිංහ මහත්තයාගෙ උදව් ගන්න. පළිහවඩන මහත්මියගේ උපකාර ගන්න. ඒ වගේ පළමු රැල්ල මැඩපවත්වන්න හොඳින් වැඩ කරපු අය එකතු කරගෙන, ඔවුන් ඈත් කරලා තියන්නෙ නැතුව, මේ සෞඛ්‍ය අංශයි ආරක්ෂක අංශයි බුද්ධි අංශයි හැම එකක්ම එකට එකතු කරලා එක නායකත්වයක් යටතේ එකට ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල හදන්නට ඕනෙ. විශේෂයෙන් ඔය ලොක්ඩවුන්, ඇඳිරි නීතිය පනවලා තියෙන ප්‍රදේශවල ජනතාවට හරියට ආහාර ද්‍රව්‍ය ටිකවත් ලැබෙන්නෙ නෑ. ඒවගේ ශෝචනීය තත්වයක් අද රටේ තිබෙන්නෙ.
ඒ නිසා ප්‍රායෝගික, ජනතාවාදී විපක්ෂයක් හැටියට අපේ කාර්යභාරය වෙන්නෙ ආණ්ඩුවෙන් යම්කිසි අඩුපාඩුවක් වෙනවා නම් ඒවා පෙන්වලා දීලා නිවැරදි කිරීමත් ඒ වගේම යම් යම් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ රජයත් රටත් දැනුවත් කිරීමත්. අපි බලාපොරොත්තු වෙනවා සහ දැනටමත් බොහොම කුඩා මට්ටමින් අපි ආරම්භ කරලා තියෙනවා රෝහල් පද්ධතියට අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලබාදීමේ වැඩසටහනක්. අපි ඒක මැතිවරණයට පෙරත් කළා, ඉදිරියටත් කරනවා. අපට තියෙන සීමිත සම්පත් තුළ කොරෝනා මර්දන සටනට විපක්ෂයේ අපිත් වැදගත් කාර්යභාරයක් අඩුම තරමින් රෝහල් උපකරණ හෝ ලබාදෙමින් ඒ දායකත්වය ලබාදෙන්නට සූදානම්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අභයගිරි විහාරස්ථානයට ගොස් භික්ෂූන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
No comments: