මහනුවර දිගන සිද්ධියේ වගකීම හිටපු පොලිස්පති පූජිත් භාරගත යුතුයි - හිස්බුල්ලා
2018 වසරේදි මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ වගකීම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා භාරගත යුතු බව හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පැවසුවේය. හිස්බුල්ලා මහතා මේ බව සඳහන් කළේ ඊයේ (25) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමිනි.
එම සිදුවීම සම්බන්ධයෙන් තම සොයා බැලිම් අනූව හිටපු පොලිස්පතිවරයා නිසි පරිදි පහළ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේ නම් එම සිදුවිම ඉතා ඉක්මණින් පාලනය කළ හැකිව තිබූ බව හිස්බුල්ලා මහතා කියාසිටියේය.
සහරාන් හෂීම් හට ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයකට අවතිර්ණ විමට මහනුවර දිගන ප්‍රදේශයෙ ඇති වු ගැටුම් මූලික වශයෙන් බලපෑ බව තම සොයා බැලිම් අනූව අනාවරණය වු බවද හිස්බුල්ලා මහතා පැවසුවේය.
මෙහිදී බැටිකලෝ කැම්පස් ආයතන සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර තමන් මූලිකව ගොඩනැගු බැටික්ලො කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් හිටපූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන ආංශික අධික්ෂණ කාරක සභාව සකස් කළ වාර්තාව ඒක පාර්ශවිකව සකස් කළ එකක් බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා ප්‍රකාශ කරන ලදී.
අදාළ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයට පවරා ගන්නැයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහාචාර්ය ආශු මාරසිංහ මහතා පසුව අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඒකපාර්ශවික ක්‍රියා කර තිබෙන බවයි ඔහු චෝදනාත්මක ස්වරයෙන් පැවසුවේ.
බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් තමන් විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවට සියලු ලේඛන ලබා දුන්නද අදාළ වාර්තාව සකස් කිරීමේ දී එම කිසිදු ලේඛනයක් පරික්ෂා කර නොමැති බව ඔහු පෙන්වා දෙන ලදී.
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස යොදා ගනිමින් තිබෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය එම ක්‍රියාවලිය අවසන් වූ වහාම රජය සමඟ සාකච්ඡා කොට ඕනෑම කොන්දේසියකට යටත්ව විශ්ව විද්‍යාලයක් ලෙස ආරම්භ කිරීමට තමන් අපේක්ෂා කරන බව ද සාක්ෂි ලබාදෙමින් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා කියාසිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කොට ආසන ක්‍රමයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණ ක්‍රමය වෙනුවට ජාතීන්ගේ ප්‍රතිශතය අනුව නියොජිතයන් තෝරා ගැනිමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීම රට තුළ ජාතීන් අතර පවතින ගැටුම් විසදීමට මූලිකව උපයෝගී කරගත හැකි බවත් හෙතෙම කොමිසමට යෝජනා කළේය.
No comments: