Header Ads

Breaking News
recent

ක්‍රීඩකයන්ට මොළේ දෙන්න අපිට බෑ : ක්‍රිකට් වැටුණු හැටි ක්‍රිකට් ලොක්කා හෙළිකරයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අන්තයටම ඇද වැටී ඇති බව ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනකු නඟන චෝදනාවකි. දිගින් දිගටම තරග පරාජය වීම පමණක් නොව ක්‍රීඩකයන් තරග වදින විලාශය, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව නොමැති වීම මෙන්ම විනය පිරිහීම සම්බන්ධ කාරණාවන්ද බොහෝ දෙනාගේ විවේචනයට ලක් වී ඇත. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව වග කියන ප්‍රධාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයය. එබැවින් රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටී ඇත්නම් ඒ සඳහා වග කිව යුත්තේද එම ආයතනමය. මේ අතර ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තා වන අතර අතුරු පාලක කමිටුවක් පිහිටුවීම පිළිබඳ තොරතුරුද ඇසෙමින් ඇත. අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමඟ සාකච්ඡාවකට එක් වූයේ මේ සියලු දේ පිළිබඳව විමසීමට නියම සුදුස්සා ඔහු වන නිසාමය.

සභාපතිතුමා, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේ අත් වෙලා තියෙන ඉරණම ගැන බොහෝ චෝදනාවන් එල්ල වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ විනය ගැන. ඇතැම් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ රණ්ඩු වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රධානියා විදියට ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?
මේ වගේ දේවල්වලට මැදිහත් වෙන්න එපා කියලා අපි ක්‍රීඩකයන්ට දන්වලා තියෙනවා. බිරින්දෑවරුන්ගේ ප්‍රශ්න කියන්නේ ඒ අයගේ පෞද්ගලික දෙයක්. නමුත් ක්‍රීඩකයෝ අපි එක්ක බැඳිලා ඉන්නවා. ඒ හින්දා මේ දේවල්වලට මැදිහත් වෙන්න එපා කියලා අපි ඒ අයට අවවාද කරලා තියෙනවා.

නමුත් ක්‍රිකට් සභාපතිවරයා විදියට මේකට මීට වඩා මැදිහත් වීමක් කරන්න ඕනෑ කියලා හිතෙන්නේ නැද්ද? මේ වගේ දේවල් අපි මීට පෙර දැක්කේ නැහැනේ?
නැහැ. ඉස්සරත් මේවා තිබුණා. ඒත් සමාජ මාධ්‍ය තිබුණේ නැති හින්දා මේවා එළියට ආවේ නැහැ. ඒත් දැන් පොඩි දෙයක් වුණත් ඉක්මනින් හැමෝම දැන ගන්නවා. දැන් ඒ අය රණ්ඩු කරන්නෙත් සමාජ මාධ්‍ය හරහානේ. ඒකයි මම කියන්නේ මේවා ඉස්සරත් තිබුණා. ඒත් එළියට ආවේ නැහැ. හැබැයි මේ වගේ දේවල් එළිපිට නොකරන්න වගබලා ගන්න ක්‍රීඩකයෝ දැන ගන්න ඕනෑ.

පසුගිය තරගාවලි සඳහා තෝරා ගත් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ හිටපු සභාපතිතුමාම එළියට ගිහින් චෝදනා කරනවා. ඒ දේවල්වලට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විදියට ඔබ වග කියන්න ඕනෑ නැද්ද?
මම සභාපතිවරයා විදියට කොයිම ආකාරයකටවත් තේරීම් සඳහා බලපෑම් කරන්නේ නැහැ. ඒක මට අයිති වැඩක් නෙවෙයි. ඒකට තමයි තේරීම් කමිටුව ඉන්නේ.
පසුගිය අවුරුද්දකට වැඩි කාලයේදී අපිට තරග තිබුණේ නැහැනේ. ඒත් එල්. පී. එල්. තරගාවලිය පවත්වන්න කලින් අපි සති තුනක විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්වුවා පල්ලෙකැලේදි. ඊට පස්සේ එල්. පී. එල්. තරගාවලිය තිබුණා. ඊට පස්සේ දකුණු අප්‍රිකා සංචාරය ආවා. ඒ අතරෙත් අපේ පුහුණු නිලධාරීන් ක්‍රීඩකයන් එක්ක උපරිමයෙන් කටයුතු කළා. ඒත් දකුණු අප්‍රිකා ගිය ගමන් අපේ බොහෝ ක්‍රීඩකයන් ආබාධයකට ලක් වුණා. අවුරුද්දක් විතර නිසි පුහුණුවක් නොමැති වීම තමයි ඒකට හේතු වුණේ.
හැබැයි ඒකට මම සම්පූර්ණයෙන්ම ක්‍රීඩකයන්ට දොස් කියනවා. මොකද ඒක ඒ ක්‍රීඩකයන්ගේ රැකියාව. ඒක ඒ අය දැන ගන්න ඕනෑ. ඒ හැමෝටම අපි හොඳට ගෙවීම් කරනවා. ඒ අයගේ රැකියාවේ පළමු කාරණය තමයි ශාරීරික යෝග්‍යතාවය රැක ගන්න එක. එහෙම නොකෙරුව එක ගැන මම ක්‍රීඩකයන්ට දොස් කියනවා.

ක්‍රිකට් ආයතනයට ඒ ගැන වෙන පියවරක් ගන්න බැරිද?
අපි ඒකට දැනටමත් පියවර අරගෙන තියෙන්නේ. ඉදිරියේදී ක්‍රීඩකයන් සමඟ ගිවිසුම් ගත වෙද්දී ශාරීරික යෝග්‍යතාවයට මූලිකත්වය දෙන්න අපි තීරණය කරලා තියෙනවා. පළමු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් නම් ගිවිසුම් ගත මුදලෙන් අඩු කරන මුදලත්, දෙවැනි පරීක්ෂණයෙන් අසමත් නම් අඩු කරන මුදලත් අපි දැනුම් දීල තියෙනවා. ඒ වගේම තෙවැනි පරීක්ෂණයෙනුත් අසමත් නම් අපි ඒ ක්‍රීඩකයන් සමඟ ඇති ගිවිසුම අවලංගු කරන්න කටයුතු කරනවා.

හැබැයි සභාපතිතුමා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය අභිමුවේ එල්. පී. එල්. තරගාවලිය පැවැත්වීම මේ ආබාධවලට හේතුවක් වුණා කියලත් චෝදනාවක් තියෙනවා නේද?
එල්. පී. එල්. තරගාවලිය අපි මීට පෙර සංවිධානය කරන්න හිටපු එකක්. ඒත් කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක කල් ගියා. අපිට ලැබුණු පළමුවැනි අවස්ථාවෙදි තමයි අපි තරගාවලිය පැවැත්වුවේ. ඒත් එහෙමයි කියලා ඒ චෝදනාව පිළිගන්න බැහැ.
දැන් බලන්න ඉන්දියාව. අයි. පී. එල්. තරගාවලිය අවසන් වුණු ගමන් තමයි ඕස්ටේ්‍රලියාවේ ගියේ. ගිහින් ටෙස්ට් තරගාවලිය දිනලනේ ආවේ. ඉන්දියාවේ ක්‍රීඩකයොත් ගහන්නේ ක්‍රිකට්නේ. ඒ අය වෙන ක්‍රීඩාවක් නෙවෙයිනේ කරන්නේ.
එක එක අයට එක එක දේවල් කියන්න පුළුවන්. ඒත් ශාරීරික යෝග්‍යතාව රැක ගන්න එක ක්‍රීඩකයන්ගේ වගකීමක්. මොකද අපට පොලිසියෙන් දාලා ඒක කරනවද කියලා බලන්න බැහැනේ. ඒ අයගේ රැකියාව හරියට කරන්න ඒ අය දැන ගන්න ඕනෑ.

වර්තමානයේදී ක්‍රිකට් ආයතනයට එරෙහිව වැඩියෙන්ම චෝදනා කරන පුද්ගලයෙක් තමයි හිටපු නායක අර්ජුන රණතුංග මහත්මයා. එතුමා 96 ලෝක කුසලාන දිනපු නායකයා. ඇයි ඒ වගේ පුද්ගලයෙකුට ක්‍රිකට් පරිපාලනයට එන්න ඉඩ දෙන්නේ නැත්තේ?
මම ඇත්තටම ඒක ගැන වැඩිය කතා කරන්න කැමැති නැහැ. අපි අර්ජුන රණතුංග මහත්තයාට මෙතැනට එන්න එපා කියලා කවදාවත් කියලා නැහැ. ඒත් එයා එන්නේ නැහැ. රණතුංග මහත්තයා සභාපති තනතුරට ඡන්දය ඉල්ලුවා. ඒත් සාමාජිකයෝ ඡන්දය දුන්නේ නැහැ. එහෙම කියලා අපි එයාට එන්න එපා කියලා නැහැ. දැන් අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම වගේ හිටපු ක්‍රීඩකයෝ ඇවිත් අපි එක්ක වැඩ කරනවා. මම දැන් වුණත් අර්ජුන රණතුංග මහත්මයාට ආරාධනා කරනවා ඇවිත් ක්‍රිකට් ආයතනයේ කළමනාකාර ධුරය බාර ගන්න කියලා. මම මේ ගැන නාමල් රාජපක්ෂ ඇමැතිතුමා එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. ඒත් එතුමා එන්නේ නැහැ.

ඒ කියන්නේ අර්ජුන රණතුංග මහත්මයා එන එකට ඔබේ කිසිම විරුද්ධත්වයක් නැහැ කියන එකද?
මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ක්‍රිකට් ගහන කාලේ අපි එතුමාලා සමකාලීනයෝ. අපි එකට ක්‍රිකට් ගැහුවේ. ඔහොම දැන් වයසට ගිහින් තිබුණට එතුමා මට වැඩිය පොඩ්ඩක් ජූනියර්. මට එතුමා එක්ක කිසිම තරහකුත් නැහැ. අපි කිසිම තැනක එතුමාලව නවත්තලත් නැහැ. හැබැයි තව දෙයක්. එතුමා ඉල්ලන්නේ අතුරු කමිටුවක්නේ. දැන් එතුමා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරලා පරාජය වුණා. එහෙනම් ඒකටත් අතුරු කමිටුවක් ඕනෑ කියලා එතුමා ඉල්ලන්න ඕනෑ.

ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් යුතු ක්‍රිකට් කමිටුව ගැන ඔබ තුමා කතා කළා. ඒත් ඒ කමිටුව ක්‍රීඩා ඇමැතිතුමා පත් කරපු එකක් නේද?
නැහැ. නැහැ. එතුමා සහ අපි අතර දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තමයි ඒක කළේ. එතුමා අපිට ඒ නම් හතර යෝජනා කළා. අපේ විධායක කමිටුව ඒකට අනුමැතිය දුන්නා. ඇමැතිතුමා එතැනට කිසිම දේශපාලනයක් සම්බන්ධ කර ගත්තේ නැහැ.

අපි ඔබතුමාගෙන් කෙළින්ම අහන්නම්. ඇත්තටම ක්‍රිකට් ආයතනයේ පරිපාලනය කියන්නේ බිස්නස් එකක් නේද?
මේක ඇතුළේ ඇත්තටම බිස්නස් කරන්න බැහැ. ඒක දන්න අය දන්නවා. මොකද මේක ඇතුළේ පෞද්ගලික විගණන ආයතන කිහිපයක් ඉන්නවා. ඒ වාර්තා විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් වෙනවා. ඒ හින්දා මේකට ඇවිත් සල්ලි හම්බ කරන්න බැහැ. අනිත් එක හොරකම් කරන්න එන මිනිහෙක්ව ක්‍රීඩා සමාජ ඡන්දය දීල පත් කරන්නේ නැහැනේ. ඒක බොරුවට මවන බිල්ලෙක්. දැන් අපේ ඉන්න ප්‍රතිවාදියෝ ඔක්කොම අපිට වැඩිය ගොඩක් සල්ලි තියෙන අය. ඒ අය සල්ලිත් විසි කරනවා. ඒත් සාමාජිකයෝ ඡන්දය දෙන්නේ නැහැ.

ක්‍රිකට් ආයතනය ඇතුළේ හොරකම් වෙන්නෙම නැහැ කියලද ඔබ කියන්නේ?
100%ක් නෙවෙයි 200%ක් ඒ ගැන මම වග කියනවා. ඒ වගේම එහෙම හොරකම් වෙනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා මම ඕනෑම කෙනකුට අභියෝග කරනවා.

ඒ වුණාට සභාපතිතුමා රූපවාහිනී අයිතිය සම්බන්ධ කටයුතුවලදී බොහෝ වාසි ලැබෙනවා කියලා කියනවනේ. ක්‍රීඩා ඇමැතිවරු පටන් අතීතයේ ඉඳන්ම ඒකට ඇහැ ගහ ගෙන ඉන්නවා කියලත් බොහෝ අය කියනවා?
එක එක අය එක එක ඒවා කියනවා. ඒත් ඒ කිසිම දෙයක් ඔප්පු කරලා නැහැනේ. කිසිම හොරෙක් අල්ලලත් නැහැනේ. මම තවම මෙතැන අවුරුදු දෙකයි. ඊටත් ඉස්සෙල්ලා අවුරුදු ගානක ඉඳන් ඕක කියනවා. ඒත් කවුරුවත් ඔප්පු කරලා නැහැනේ.

ඒත් සභාපතිතුමා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විගණන වාර්තාව හරහා බොහෝ දේවල් එළි වෙලා තියෙනවා නේද?
කිසිම දෙයක් නැහැ. ඕක මේ ඇතැම් මාධ්‍ය මවපු දෙයක් විතරයි. අපිත් එක්ක තියෙන තරහට ඒ අය විවිධ බොරු දානවා. ඒ දාපු කිසිම දෙයක් ඔප්පු කරලා නැහැ. ළඟදිම අපි කෝප් කමිටුව ඉදිරියෙත් පෙනී හිටිනවා. ඒවට උත්තර දෙන්න අපිට පුළුවන්.

අපි අහලා තියෙන්නේ ආනා පුංචිහේවා මහත්මයා තමයි ලංකාවේ හිටපු හොඳම ක්‍රිකට් සභාපතිවරයා කියලා. ශම්මි සිල්වාට ඒ තැනට එන්න බැරිද?
ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් මට පුළුවන් දේ මම කරනවා. මට මැදට ගිහින් ක්‍රිකට් ගහන්න බැහැනේ. තරුණ කාලේ ආව නම් මට ඒකත් කරන්න තිබුණා. දැන් මේ වයසත් එක්ක මට ඒක කරන්න බැහැ. පුංචිහේවා මහත්තයා යටතේ රණතුංග මහත්තයලා ක්‍රීඩා කෙරුව කාලෙට වැඩිය හුඟාක් පහසුකම් අපි වර්තමාන ක්‍රීඩකයන්ට දීලා තියෙනවා. අර්ජුනලට, අරවින්දලට ඒ කාලේ මේ පහසුකම් ලැබුණේ නැහැ. හැබැයි ඒ අය ඒ වෙනුවෙන් පුදුම විදයට කැප වුණා. ඒ අය බිම ඉඳලා ආව අය. ඒ අය මේකෙ වටිනාකම දැන ගෙන හිටියා. දැන් ඉන්න ක්‍රීඩකයෝ එහෙම නැහැ. එහෙම කැපවීමක් නැහැ. ඒ කැපවීම නැතිව අපිට මොකුත් කරන්න බැහැ. හැබැයි ඒ අය කරන්නේ නැති නම් අපිට බලෙන් හරි ඒ කැපවීම ගන්න වෙනවා.

ඔබතුමා මේ කාලය ඇතුළත ක්‍රීඩා ඇමැතිවරු තිදෙනකු සමඟ වැඩ කරලා තියෙනවා. හිටපු ඇමැතිවරුන්ගෙන් ලැබුණු සහාය වගේම වර්තමාන ඇමැතිවරයාගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළා. ඩලස් අලහප්පෙරුම මැතිතුමාත් කෙටි කාලයක් තුළ නිහඬව ලොකු කාර්යයක් ඉටු කළා.
හැබැයි නාමල් ඇමැතිතුමා බය නැතිව තීන්දු තීරණ අරගෙන වැඩ කරනවා. එතුමා ජාතික තලයේ ක්‍රීඩකයෙක් හින්දා කරන්න ඕනෑ මොකක්ද කියන එකත් හොඳට දන්නවා. ඒ හින්දා එතුමා බොහොම හොඳට මේක කරයි කියලා මම හිතනවා.

එතුමා එක්ක එකතු වෙලා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනි යන්න ඔබට පුළුවන් වේවි කියලා හිතෙනවද?
ක්‍රිකට් විතරක් නෙවෙයි සෑම ක්‍රීඩාවක්ම ඉහළට ඒවි. ක්‍රිකට් ගැන කතා කළොත් දැන් අපේ කමිටුව ඇවිත් තියෙනවා. බොහොම ප්‍රවීණ දක්ෂ ක්‍රීඩකයෝ එතැන ඉන්නේ. ඒ වගේම ඒ අය මීට කලින් මේ වගේ දේකට ආවේ නැහැ. අපි කරන්නේ මොකක්ද කියලා බලන්න දැන් ඒ අයට පුළුවන්. ඒවායේ වෙනස් වෙන්න ඕනෑ මොනවද කියලා කියන්න ඒ අයට පුළුවන්.

ක්‍රීඩාංගණවල තත්ත්වය වැඩි දියුණු කරන්න ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ නැහැ කියලා ඇතැම් ක්‍රීඩකයන්ගෙනුත් චෝදනා එල්ල වුණා. ඒ දේවල් ගැන ඔබ හොයා බලන්නේ නැද්ද?
මේ වෙද්දී අපි පල්ලෙකැලේ, දඹුල්ල සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පහසුකම් ගොඩක් වැඩි දියුණු කරලා තියෙනවා. නාන තටාක ඇතුළු සියලුම පහසුකම් ඒ යටතේ සලසලා තියෙනවා. ඒ වගේම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විශාල නවීකරණය කිරීම් මේ වෙද්දි සිදු වෙනවා. තව මාස හයකට පස්සේ මේ ක්‍රීඩාංගණ තුනම ක්‍රීඩා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන්න අපිට පුළුවන්.

පසුගිය එල්. පී. එල්. තරගාවලිය වෙනුවෙන් ලැබිය යුතු සම්පූර්ණ මුදල ක්‍රිකට් ආයතනයට ලැබිලා නැහැ කියලත් මේ දවස්වල චෝදනාවක් එල්ල වෙනවා?
ඒක මෙහෙමයි. අපිට තරගාවලිය වෙනුවෙන් මිලියන 1.9ක් ලැබෙන්න නියමිතව තිබුණා. ඇත්තටම අපිට තරගාවලියට සූදානම් වෙන්න දින 14ක විතර කාලයක් විතරයි තිබුණේ. ඒ අතරෙදි ප්‍රධාන අනුග්‍රාහකයෝ දෙන්නෙක් විතර ඉවත් වෙලා තිබුණා. කොහොම හරි අපිට ලැබෙන්න තිබුණු මිලියන 1.9ක මුදලෙන් මිලියන 1.2ක් මේ වෙද්දි ලැබිලා තියෙනවා. ඒ සමාගම තමයි ඉදිරි අවුරුදු තුනේ අපේ නිෂ්පාදන කරන්නේ. ඒ වෙනුවෙන් අපිත් ඒ අයට ගෙවිය යුතු මුදලක් තියෙනවා. අපිට ගෙවිය යුතු මුදලින් ඒ මුදල අඩු වෙනවා. ඒක තමයි වෙන්නේ. ගොඩක් රටවල මේ වගේ තරගවාලි අවුරුදු දෙක තුනක් පාඩුවට තමයි කරන්නේ. ඒත් රුපියලකවත් පාඩුවක් නොවෙන්න එල්. පී. එල්. තරගාවලිය කරන්න අපිට පුළුවන් වුණා.

එල්. පී. එල්. තරගාවලියෙන් ක්‍රිකට් ආයතනයට පාඩුවක් වුණේ නැහැ කියලා ඔබ තුමා වගකීමෙන් කියනවද?
ඔව්. මම ඉතාම වගකීමෙන් කියනවා. අපිට පාඩුවක් නෙවෙයි. ලාබයක් වුණේ.

ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය ගැනත් දැන් කතා වෙනවා. ඔබතුමා ඉදිරි නිලවරණයට ඉදිරිපත් වෙනවද?
ඔව්. අනිවාර්යයෙන්ම මම නිලවරණයට ඉදිරිපත් වෙනවා.

ඔබ පසුගිය නිලවරණය දිනුවේ තිලංග සුමතිපාල මහත්මයාගේ ඡන්දවලින් කියලා ඔබට එදා ඉඳන්ම චෝදනා එල්ල වුණා. දැන් ඔබ ඒකට උත්තර දෙන්නේ කොහොමද?
සුමතිපාල මහත්තයා මගේ හොඳ යාළුවෙක්. පසුගිය නිලවරණය වෙලාවේ මොහාන් සිල්වා මහත්තයා තමයි සභාපති තනතුරට එන්න හිටියේ. ඒත් නීතිමය කාරණාවක් නිසා එතුමාට ඉදිරිපත් වෙන්න බැරි වුණා. මට මේකට සූදානම් වෙන්න පැය 18යි හම්බ වුණේ. මම ඒක දින්නා. හැබැයි මම වැඩ කරන්නේ මගේ විදියට. කවුරුත් කියන විදියට මම වැඩ කරන්නේ නැහැ. මට හරියි කියලා හිතෙන විදියට තමයි මම වැඩ කරන්නේ.

හැබැයි ශම්මි සිල්වා කියන්නේ තිලංග සුමතිපාලගේ ඩමියක් කියලා තමයි කියන්නේ?
මම කරන්නේ මොකක්ද කියන එක දන්න මිනිස්සු දන්නවා. හැබැයි මම කාගෙවත් ඩමියක් නෙවෙයි.

ඔබේ පවුලේ අයත් බුකී ව්‍යාපාරයට සම්බන්ධයි කියලා චෝදනාවක් තියෙනවා නේද?
දැන් කවුද ඒවා ඔප්පු කරලා තියෙන්නේ. එහෙනම් මටත් මෙතැන ඉන්න බැහැනේ.

ලංකාවේ ක්‍රිකට් කලින් තිබුණු තත්ත්වයට ගේන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?
2015ට කලින් අපි සෑම අංශයකින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියේම හිටියා. හැබැයි ඒ කාලේ අපිට සංගා, මහේල, දිල්ශාන් වගේ ක්‍රීඩකයෝ හිටියා. ඒ සේරම එක සැරේට ගියා. ඊට පස්සේ අපිට ආව ක්‍රීඩකයොත් හොඳයි. හැබැයි මට හිතෙන විදියට ඒ අය මොළේ පාවිච්චි කරන එක ටිකක් අඩුයි. ඉතිං අපිට ඒ අයට මොලයක් දාන්න බැහැනේ. සංගා, මහේල, දිල්ශාන්, රංගන හේරත් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ඉදිරි පෙළේ ක්‍රීඩකයෝ. දැනුත් එහෙම අය ඉන්නවා. ඒත් එහෙම නැහැ වගේ තමයි ඒ අය හැසිරෙන්නේ. ඒක වෙනස් කරන්න අපිට පුළුවන් හැම දේම අපි කරනවා. ඒත් ඒක ඒ අය අතේ තියෙන වැඩක්. මොකක හරි දාලා මකවලා ගන්න බැහැනේ.

එහෙම නොකරන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මොනවද ගන්න ඉදිරි පියවර?
ඒක අපි ක්‍රිකට් කමිටුවට බාර දීල තියෙන්නේ.

අවසන් වශයෙන් මේක අහන්නේ. ඉදිරි නිලවරණය ජය ගන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?
අනිවාර්යයෙන්ම. මම දිනනවා.

චන්දන පොන්නම්පෙරු


No comments:

Powered by Blogger.