Header Ads

Breaking News
recent

වැලිගම හිටපු සභාපති දිලිත්ගේ පක්ෂයේ සාමාජික දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි

දිලිත් ජයවීරගේ සර්ව ජන බලය පක්ෂයේ සාමාජික දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අදාළ අල්ලස් කොමිසමේ නිවේදනය පහතින්.

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ යන අය දුෂණ චෝදනා මත2026.05.08 වන දින අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එකී දුෂණ චෝදනාවන් පහත පරිදි වේ.

1. තමාට අයිති ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිල දී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබාගෙන අයුතු වාසියක් සිදු කර ගැනීම

2. රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගැනීමට යැයි පවසා නිසි ක්‍රම වේදයෙන් බැහැරව දීමනා පත්‍ර හිමිකරුට රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවීමට කටයුතු කර එකී ඉඩම නීත්‍යනුකූල ලෙස පවරා ගැනීමක් සිදු නොකර ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදු කිරීම හා දීමනා පත්‍රකරුට අයුතු වාසියක් සලසා දීම

3. ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙත බෙදා දීම සඳහා බව පවසමින් නිසි අනුමැතියකින් තොරව හා නියමිත ක්‍රම වේදයට පරිභාහිරව රු.26,025,650/- ක මුදලක් වියදම් කරමින් අභ්‍යාස පොත් මිල දී ගෙන එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දමමින් ප්‍රාදේශීය සභාවට පාඩු සිදු කිරීම

4. පුද්ගලික ආයතනයක් විසින් ඉඩම් කොටස් කර විකිණීමක දී පොදු කොටසක් ලෙස වෙන් කර ප්‍රාදේශීය සභාව වෙත පවරා ගෙන තිබූ පර්චස් 202 ක පමණ වපසරියකින් යුත් ඉඩම තම ඥාතියෙකු වෙත රු.2,000,000/- ක අඩු වටිනාකමකට බැහැර කිරීමෙන් ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදු කිරීම

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026.05.18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.